Tuesday, November 04, 2025
Follow Us
රටක් ලෙස නැවත නැගී සිටින්නට නම් අප සියලු දෙනා එක්ව රට යළි ස්ථාවර කිරීමට දායක විය යුතුයි  -අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

 

“ රටක් ලෙස නැවත නැගී සිටින්නට නම් අප සියලු දෙනා එක්ව රට යළි ස්ථාවර කිරීමට දායක විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන (i Road )ව්‍යාපෘතිය යටතේ කාපට් යොදා සංවර්ධනය කෙරුණු කැකිරාව සිට තලාව දක්වා මාර්ගය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

කිලෝමීටර් 27ක දිගින් යුතු මෙම මාර්ගය ද්විත්ව මං තීරු මාර්ගයක් ලෙස කාපට් යොදා සංවර්ධනය කර ඇති අතර ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 2422කි.

තලාව මංසන්ධියේදී සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව එප්පවල නගරයේදී ජනහමුවක්‌ ද  පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අද දිනය උතුරු මැද පළාතට විශාල අගයක් එකතු වන අවස්ථාවක්. මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී විශාල අභියෝග රැසකට මුහුණදීමට සිදුවනවා. ඒ සියල්ල දරා ගනිමින් මෙවැනි අවස්ථාවක මේ ව්‍යාපෘතිය නිම කිරීමට දායක වූ සියළු දෙනා වෙත ප්‍රණාමය පිරිනැමිය යුතුයි.

මේ වන විට පවතින තත්වය තුළ රටේ කිසිදු නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ හෝ ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමේ මූල්‍ය ශක්තියක් රජයට නෑ. ඉතිහාසය පුරාම විවිධ අවශ්‍යතා වෙනුවෙන් අපේ රට විශාල ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.විශේෂයෙන්ම වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය වෙනුවෙන් විශාල ණය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වුණා. යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව ඉන් ඇතිවුණු විනාශය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ණය ගැනීමට රජයට සිදු වුණා. මේ සංවර්ධනය කෙරුණු මාර්ගය ඇතුළු  සංවර්ධන කටයුතු බොහොමයක් සිදු වුණේ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විදේශීය රටවල් සහ සංවිධානවලින් ලබාගත් ණය මුදල් වලින්. ජනතාවගෙන් ලබාගන්නා බදු මුදල් වලින් සිදු කළ හැක්කේ එදිනෙදා පවත්වාගෙන යෑම සහ වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම පමණයි.

විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් ලබා දුන් ණය සහ ආධාර රටට ප්‍රමාණවත් නොවූ විට,රජය ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් ණය ලබා ගත්තා.ඒ ආකාරයට පසුගිය යහපාලන රජය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 12 කට අධික ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් ණය ලබා ගෙන තිබෙනවා.නමුත් ජාතියක් ලෙස අප සතු විදේශ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5යි. පසුගිය සමයේ ඇතිවූ පාස්කු ප්‍රහාරය සහ ඉන් අනතුරුව ඇති වූ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් විවිධාකාරයේ ක්‍රමවලින් රටට ගලා ආ විදේශ විනිමය අවහිර වුණා.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමඟ ගනුදෙනු කිරීමකින් තොරව රටක්‌ මාසයක් හෝ පවත්වාගෙන යෑමට බැහැ. එම නිසා මේ මතුව ඇති තත්ත්වයට පිළියමක් සොයා ගැනිම සඳහා රජය, මිත්‍රශීලී රටවල්, ජාත්‍යන්තර සංවිධාන,උපදේශන සමාගම් එක්ව මේ වන විට විශාල වෑයමක නිරත වෙමින් සිටිනවා.එලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළත් 2048 දක්වා මේ ලබාගත ණය සඳහා ගෙවීම් අඛණ්ඩ සිදුකළ යුතුව පවතිනවා. එම නිසා එම කාලය තුළ කවුරුන් විසින් රට පාලනය කිරීමට බලාපොරොත්තු වත් ඔවුන් සතුව මේ ණය ගෙවීම පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් පැවතීම අනිවාර්යයි.

පවතින මේ සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාවද දැනුවත් කළ යුතුයි.මේ තත්වය වසන් කරමින් කෙනෙක් ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සහ කරනවා නම් එය නොකළ යුත්තක් ලෙස මා දකිනවා. එය ජනතාවට වසන් කරමින් සිදු කල කටයුතු පසුගිය සමයේ රට තුළ බොහෝ කඩාවැටීම් වලට හේතු වුණා. ඉන්ධන සීමා වුණා, විදුලි බලය සීමා වුණා, ජනතාවට පෝලිම් වල ඉන්නට සිදු වුණා.ඒ හේතුවෙන් බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා රට තුළ ඇති වුණා. උතුරේ හෝ දකුණේ කොතැනකවත් ප්‍රචණ්ඩත්වය තුළින් කිසිදු ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැහැ.”