මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ (9) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් බලතල ඉල්ලා සිටීමට හේතූන් විමසා සිටියේය.
එහිදී දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ලෝකයේ අනෙකුත් රටවල් උදාහරණයට ගනිමින් බලය බෙදීමේ අවශ්‍යතාව පැහැදිලි කෙරුණු අතර දෙමළ ජාතිකයින් මුහුණදෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.පොලිස් බලතල නොබෙදා එම ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල් වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ඨ අයුරින් සිදු වූ බව පෙන්වා දුන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු එහිදී භාවිතා කරන ක්‍රමවේදයන් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකි බව පැහැදිලි කළේය. එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා එංගලන්තය සහ ශ්‍රී ලංකාවෙහි දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බව පෙන්වා දුන්නේය.
දෙමළ ජනතාවට සහ දෙමළ දේශපාලන නායකයින්ට දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ උවමනාව කුමක්ද යන්න මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වන්නේ, දිස්ත්‍රික් කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා දුර බැහැර ගෙවාගෙන කොළඹට පැමිණෙන්නට සිදුවීම හා ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මකවීමේ ගැටළුවක් තිබීම නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පැවසූහ.
එසේම පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් යෝජිත කරුණු වලට අලුතින් කිසිවක් එක් නොවෙන නමුත් ජාතික පොලිස් කොමිසමට අමතරව පළාත් පොලිස් කොමිසමත් පත් කිරීමේ අවශ්‍යතාවයක් මතුවන බව ද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.