ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන ලෙස තමන්ගෙන් ඉල්ලමින් තම ගම් ප්‍රදේශයේ වැසියන් පිරිසක් උපවාසයක නිරත වූවත් එම පක්ෂයට එක් නොවීමට තමන් ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
"මගෙ පාක්ෂිකයො මට බල කරනවා මට පොහොට්ටුවට යන්න කියලා. ඒත් මං ගත්ත තීන්දුව වෙනස් කරන්න කැමති නෑ. මං හොඳට හිතලා තමයි තීරණයක් ගත්තේ. ඒ තීන්දුවේ මං අදත් ඉන්නවා හෙටත් ඉන්නවා.
මගේ එකම අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න. එතකොට දැන් මේ යන ක්‍රමයට ශ්රීලනිපයක් නැත්තටම නැතිවෙනවා. මැතිණියගෙන් පත්වීම ලබාගත් මම ඒ දේ වෙනවා දකින්න කැමති නෑ. ඒ නිසා මම තීන්දුවක් ගත්තා, මම පොහොට්ටුවට වැඩ කරන්නෙ නෑ කියලා. ඒ තීන්දුවෙ මම අදත් ඉන්නවා හෙටත් ඉන්නවා ඡන්දෙන් පස්සෙත් ඉන්නවා.
මහජනතාව හිතයි අර ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ මහත්තයා වගේ මමත් පාක්ෂිකයො දම්මලා උපවාස කරනවා, පොහොට්ටුවට යන්න පාර කපාගන්න කියලා. මට එහෙම අවශ්‍යතාවයක් නෑ. මොකද මං මහින්ද රාජපක්ෂ මහත්තයාටත් කිව්වා, මම පොහොට්ටුවට එන්නෙ නෑ මම ශ්‍රී ලංකා කාරයෙක් කියලා. මං එතනින් එළියට ආවෙ නැවතත් එතෙන්ට යන්න නෙවෙයි"
කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ නුවර එළිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල හැරෙන හැරෙන පැත්තට පාට මාරු කරන දේශපාලනඥයින් අතරේ කුමාර වෙල්ගම යනු ඇත්තටම "පොරක්" බව ඔහු මේ ප්‍රකාශය හරහා ඔප්පු කර ඇති බව නම් කිව යුතුමය. මේ ප්‍රකාශය රකින තාක් ඔහු පොරකි.
නැතිවෙන්නට බොහෝ දෑ තිබියදීත් ඒ සියල්ල පරදුවට තබා, අවදානම දරාගනිමින් ඔහු මේ කරන බල ක්‍රීඩාව තුළ "කළුගංතොට සිංහයා" කතාවට ඔහු යම් සාධාරණයක් ද කර ඇත.
අනෙක් අතින් බොරු සදාචාර කතන්දර නොමැතිව හොඳට කන බොන, අනිත් ඒවාත් කරන, තමන් කරන දේ පිළිගන්න චරිතයක් වන වෙල්ගම ශ්‍රී ලංකා දේශපාලනය තුළ සර් ජෝන් කොතලාවලගේ දේශපාලන පරපුරේ අවසන් පුරුක ලෙස සනිටුහන් වන්නට හැකි ලක්ෂණ පෙන්නුම් කරන්නෙකි.
(LNW)