ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය හා ආර්ථික ස්වයංපෝෂිතතාවය ඇති කළ නොහැකි බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ අපනයනය ඉලක්ක කර ගනිමින් ගොවීන් නගාසිටුවීම සඳහා දේශීය බීජ බෙදා දීම අද (12 ) මීපේ, මාවතගම දී ආරම්භකළ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක් වූ අග්රාමාත්යවරයා -
"මොහොතකට හැරී බැලුවොත් අද කඩා වැටී සිටි තත්ත්වයෙන් රට ගොඩගෙන තිබෙනවා. ඊට ප්රධානතම බලවේගය වුණේ ගම්බද ගොවි ජනතාවයි.
අපිට තිබුණු මූලික අර්බුදවලින් රට දුවන තත්ත්වයට ගෙනාවා. මෙතනින් එහාට ආර්ථික වශයෙන් අපේ රට ගොඩ නැගීමේ විශේෂ ඉලක්ක සපුරා දීමට සිදුවෙනවා. සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තවලට සහයෝගයක් දීමේ ඊළඟ අභියෝගයට අප ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත නිෂ්පාදන වැඩි කරගැනීමට පොදුවේ තිබෙන වෙළඳපලට ලබා දීමට පුළුවන් සහනයක් ඇති කර දීම අත්යවශ්යයි.
රජය හැටියට විශ්වාසවන්ත මූල්ය තත්ත්වයකට රට ගෙන ඒමට ආරම්භක පියවර ඇති කරලා තහනම ඉවත් කරගෙන ජාත්යන්තර මූල්ය ආයතන සියල්ල සමඟ ගනුදෙනු කරන්නට පුළුවන් රටක් බවට අද පත්වුණා. අපේ ගම්වල ආහාර ස්වයංපෝෂිත කර ගත හැකි ආකාරයට රට ගෙනියන්න පුළුවන්. ගම්වාසී රටවැසියා මෙ බව ඔප්පුකර තිබෙන දෙයක්.
අදට අවුරුද්දක් වෙනවා. රටේ කලබල ඇති වෙලා. රට අඩපණවෙලා රටම අරාජික වුණා. නීතියක් රීතියක් නැති රටක් බවට පත්වුණා. මේ අවුරුද්ද තුළ ඔබ අපට පුළුවන් වුණා. දේශපාලනයටත් වැඩිය රට ගොඩ ගන්න ඕනේ කියලා හැඟීමකින් කටයුතු කරන්නට. එහි ප්රධානතම ඉලක්කය වුණේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමයි. ඒ වගේම රටේ නීතිය හා සාමය රටට දායාද කළා."