මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම්වලට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට "හූ" කීවොත් එසේ හූ කියන අයගේ අත පය කඩා, කුඩු කර දැමෙනු ඇති බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී විවෘතව තර්ජනය කළේය.
"අපි අවසානයේ නතර වෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරවලා කියන එක ඔය කවුරුත් මතක තියාගන්න ඕනෙ. ඒ තීරණය ගත්තේ අපි ශ්රීලනිපය සුරකිනවා කියන අර්ථයෙන් නෙමෙයි, රට සුරකිනවා කියන අර්ථයෙන්.
ඒනිසා මේ රැස්වීම් බලන්න එන ජනතාවට කියනවා, එක උත්තරයයි තියෙන්නෙ. තමන්ගෙ ළඟ ඉඳගෙන හූවක් කියනවා නම් ඒ හූව කියන කෙනාව එතනින්ම පාත් කරගන්න. මේ රටට ආදරය කරන මිනිහෙක් ඉන්නවා නම් ඒ හූව කියන කෙනාව එතනින්ම ඔබන්න පල්ලෙහාට. පල්ලෙහාට ඔබා ගන්න ළඟ ඉඳලා, ඉතුරු ටික විසඳෙයි.
ඒකට අවශ්‍ය සියලු දේවල් අපිත් අද මිනිස්සුන්ට දැනුවත් කරනවා. අපට කරන්න දෙයක් නෑ, අත පය කඩාගෙන කුඩු කරගෙන ආවත් අපට කරන්න දෙයක් නෑ මේ වේදිකා අස්සෙ ඉඳලා. මිනිස්සු ගහයි. මේ රටට ආදරය කරන මිනිස්සු ගහයි හූ කියන අයට මෙතනින් එහාට. හරි ? අතපය ගලවලා දායි බිම ඉඳගෙන. මොකද ඒ තරමට මිනිස්සු සංවේදීයි මේ රට ගැන" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පෙරේදා දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද මෙවැනිම තර්ජනයක් කරමින් පැවසුවේ තමන්ට කිසිවකු කුරුණෑගලදී හූ කිවහොත් ඔවුන්ට පහරදීම සඳහා පොලු රැගත් කණ්ඩායම් වේදිකා අසල යොදවා ඇති බවයි.
පොහොට්ටුවේ අපේක්ෂකයාට අවසන් මොහොතේදී සහාය දැක්වීමට ඉදිරිපත් වී, පොහොට්ටුවේ සාමාජිකයින් විසින් නින්දාවට පාත්රකර සිටින ශ්රීලනිපය මේ මොහොතේ තනි පුද්ගලයින් වශයෙන් නොව පක්ෂයක් වශයෙන්ම ප්‍රචණ්ඩත්වයට ආරාධනා කරන බවක් මේ හරහා පෙන්නුම් කෙරේ. ශ්‍රීලනිප මහලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක යන ප්‍රධානතම නිලධාරීන් දෙදෙනෙකු මේ ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ අතපය කඩන බවට, අතපය කුඩු කරන බවට, අතපය ගලවන බවට තර්ජනය කරමින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සඳහා සිය සාමාජිකයින් පෙළඹවීම රටේ නීතියට අනුව වරදක් නොවන්නේද, මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේද යන ඒවා ද ප්‍රශ්න ය.
අනෙක් අතට ජනාධිපතිවරණයට පෙරම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුර තුළම පවතින ගැටුම එකිනෙකා අතපය කඩාගන්නා තැනකටම යොමුවීමේ සම්භාවිතාවක් පවතින බව ප්‍රසිද්ධියේ හෙළිකරමින් පාරම් බෑම ඒ කඳවුරට ඉතාම අවාසි සභගත තත්වයක් නිර්මාණය කරන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේවෙතත් බලය ලබාගැනීමටත් පළමුවම සිය අනුගාමිකයින් මිනිසුන්ගේ අතපය ගළවන තැනට ප්රචණ්ඩත්වය කරා, ම්ලේච්ඡත්වය කරා පොළඹවන ගෝත්‍රිකයින් පිරිසකට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේද යන්න ගැන ජනතාව දෙවරක් නොව තුන් හතර වරක්ම සිතිය යුතුව ඇත.
(LNW)