ඇතැම් සමෘද්ධි නිලධාරින්ම අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
- සමෘද්ධි නිළධාරින්ගෙන් සියයට තුනක් හතරක් කරන වැඩ නිසා සමස්ථ සමෘද්ධි ව්‍යාපාරයම අඩපණ වෙනවා..
- අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කරන්න ග්‍රාමීය කමිටුවලට බලය දෙන්න ඕන...
- දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අප ඉතාම විනිවිද බවකින් කටයුතු කරනවා..
- විපක්ෂයට ඕන රට අරාජික කරන්නයි...
- කැබිනට් වෙනසක් ගැන සාකච්ඡා කළේ නැහැ...ඇමති ප්‍රසන්න රණතුංග
අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී කිසිදු ආකාරයකින් දේශපාල අධිකාරියේ මැදිහත්වීමක් සිදු නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ එබැවින් අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළු නිළධාරින්ම මැදිහත්වී විසඳා ගත යුතු බවයි. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් පසුගියදා (30) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ප්‍රශ්නය- අස්වැසුම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රටේ ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා තිබෙනවා.මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මොනවද ?
පිලිතුර- අස්වැසුම නොලැබුණු අය සම්බන්ධයෙන් අභියාචනා ලබා දෙන්න රජය යම් කාලයක් ලබාදී තිබෙනවා. සමෟද්ධිය ලැබෙන අයගෙන් සියයට 30ක් ඒ සඳහා නුසුදුස්සන් බවට පරීක්ෂණ මගින් එළිවෙලා තිබෙනවා.
ඒ සදහා රජය සමීක්ෂණයක් කරන්න තීරණය කළා. නමුත් අදාළ නිළධාරින් ඒකට විරුද්ධ වුණා යම් කෙනෙක් වැරදි තොරතුරු දුන්නොත් ඒ අයට විරුද්ධ පියවර ගන්නව කියල ඒ සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ තිබුණා.ඒ අයට කමිටුවක් හදලා ඒ හරහා මේ සමීක්ෂණ කරන්න තිබුණා. නමුත් ඒ,අය ඒක කලේ නැහැ. තමන් වැරදි වැඩක් කරන්නේ නැත්නම් නිළධාරින් බය වෙන්න අවශ්‍ය නැහැ. යම් යම් අයගේ සහ කණ්ඩායම්වල උවමනාවන් නිසා ඒ අය මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හිතාමතාම වැඩ කළා.
අස්වැසුම සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනා විභාග කරන්න ග්‍රාමීය කමිටුවලට බලය දෙන්න කියල ප්‍රාදේශීය ලේකම්වරුන් ඔක්කොම කියනවා.අපි මේ පණිවිඩය රජයේ ඉහලටම දැනුම් දෙනවා.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ග්‍රාමීය කමිටුවලට බලය දෙනවට නිළධාරින් කැමති නැත්නම් ඒක අත්‍යාවශ්‍ය සේවාවක් කරල හරි මේ වැඩේ කෙරෙන්න ඕන.
ප්‍රශ්නය- සමෘද්ධි නිළධාරින් මෙහෙම කකුලෙන් අදින්නෙ ඇයි?
පිලිතුර- මට තේරෙන්නේ නෑ. හේතුව මොකක්ද කියල.තමන් හරි දෙයක් කරනවනම් බය වෙන්නෙ මොකටද? ග්‍රාමසේවක වසමකට කේෂ්ත්‍ර නිළධාරින් 10ක් විතර ඉන්නවා.ඒ අයට මේක කරන්න පුළුවන්. දේශපාලන අධිකාරිය විදියට මිනිස්සුන්ගෙන් ලැබෙන අභියාචනා ඒකට යොමුකරන්න පුළුවන්.
ප්‍රශ්නය- සමෘද්ධි නිළධාරින් විනිවිද බවකින් යුතුව මේ වැඩේ කරනවා කියල විශ්වාස කරන්න පුළුවන්ද?
පිලිතුර- සමෘද්ධි ව්‍යාපාරය ඉතාම හොඳ ව්‍යාපාරික්. සමෘද්ධි නිළධාරින් ප්‍රතිලාභීන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. එහෙම නැතුව වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියා නිළධාරින්ට වෘත්තියෙන් අයින් වෙන්න බැහැ. එහෙම රටක් ගෙනියන්න බැහැ. ඒ නිසා සමෘද්ධි නිළධාරින් ගත්ත තීන්දුව මම පිළිගන්නේ නැහැ.
ප්‍රශ්නය- සමෘද්ධි නිළධාරින් , ප්‍රතිලාභීන්ගෙන් ණය අරගෙන තිබෙනවද ?
පිලිතුර- සමස්ථයක් විදියට ගත්තොත් සියයට තුනක්, හතරක් එහෙම දේවල් තියෙනවා. ඒ ගැන පරීක්ෂණ යනවා. ඇතැම්විට ඒ ණය ගත්තු අයම තමයි මේ කඩාකප්පල්කාරී වැඩි පිටිපස්සෙ ඉන්නෙ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමස්ථ සමෘද්ධි ව්‍යාපාරයම අඩපණ වෙනවා. මේ ගැටළු විසඳන්න දේශපාලන අධිකාරියට මැදිහත් වෙන්න බැහැ. මේක නිළධාරින්ම එකතුවෙලා විසඳගන්න ඕන.
ප්‍රශ්නය- දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න ආණ්ඩුවට පුළුවන් වෙයිද?
පිලිතුර- මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දීර්ඝව සාකච්ඡා කළා. ඒකට කැබිනට් අනුමැතිය ලැබුණා. මේ පවතින අර්බුදය විසඳගන්න ඒක ඉතාම හොඳ යෝජනාවක්. ඊට පසුව අපි මේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ රැස්වීමට යොමුකළා. එතනදී ජනතාව තුළ තිබෙන සැකය ගැන මන්ත්‍රීවරුන් කතා කළා. ඒ ප්‍රශ්නවලට ජනාධිපතිතුමා, මහ බැංකු අධිපතිතුමත් පිලිතුරු දුන්නා.අපි ඒ පිලිතුරු ගැන සෑහීමකට පත්වුණා.
මේ යෝජනාව මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා.නැවත පක්ෂ නායක රැස්වීමෙදිත් මේ ගැන කතා කරනවා. මේ ගැන අපි ඉතාම විනිවිද බවකින් කරුණු ඉදිරිපත් කරනවා. සෙනසුරාදාට මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා.මීට වඩා හොඳ යෝජනා තිබේනම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැවත පෝලිම් යුගයට යන්නෙ නැතුව රට ගොඩගන්න කැමති අය මේකට උදව් කරාවි.රට අරාජික වෙනවට කැමති අය මේකට විරුද්ධ වේවි.
ප්‍රශ්නය- විපක්ෂය මේකට විරුද්ධයි?
පිලිතුර- විපක්ෂයේ අය අරගලයට ගියා. තෙල් පෝලිම් එකවට,ගෑස් නැතිවෙනවට ඒ අය කැමතියි.එයාලට ඕන රට අරාජික කරන්නයි.එතකොට තමයි එයාලගෙ දේශපාලන න්‍යාය පත්‍රය ගෙනියන්න පුළුවන්.
මේක පාර්ලිමේන්තුවට දාල සාකච්ඡා කරනවා. මිනිස්සු තේරුම් ගනීවි රට ගොඩගන්න කැමති
කවුද? අකමැති කවුද කියල. ජනාධිපතිතුමා කියන්නේ අපි හරිදේ කරනව කියල.
ප්‍රශ්නය- හෙට අනිද්දා කැබිනට් මණ්ඩලයේ වෙනසක් වෙයිද?
පිලිතුර- ඒ ගැන සාකච්ඡා නැහැ.පහුගිය දවස් ටිකේම කතා වුනේ මේ වෙලාවේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම ගැනයි..