Wednesday, November 05, 2025
Follow Us
අයවැය කාර්යාලය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්  -රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය පාර්ලිමේන්තු මූල්‍යකරණය පිළිබඳ නිර්වචන නිසි පරිදි අර්ථ ගැන්වීමක් බවයි. ‌ඊයේ (20) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

නිදහස ලබා ගත් දා සිට මේ දක්වා විවිධ පාලක පක්ෂ අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක වූවේ නම් ශ්‍රී ලංකාව අද සුරපුරයකි. විවිධ දේශපාලන පක්ෂ විසින් බලය ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වැය කෙරෙන ආකාරයක් පිළිබඳ සඳහන් නොකරයි. බොහෝ විට මෙවැනි යෝජනා අයවැය කෙටුම්පත් වෙත ද ඇතුළත් වන අතර ඉන් බොහෝමයක් අයවැය කතාවට ඇතුළත් කරන්නේ පෙර දා රාත්‍රියේ ය.

2017 වසරේ දී අයවැය යෝජනා 157ක් ඉදිරිපත් වූ අතර ඉන් 44ක් ක්‍රියාත්මක නොවිණි. ක්‍රියාත්මක වූ ප්‍රතිශතය 72%කි. 2018 වසෙර් ඉදිරිපත් වූ අයවැය යෝජනා 193 අතරින් යෝජනා 25ක් ක්‍රියාත්මක නොවීය. ක්‍රියාත්මක වූ ප්‍රතිශතය දැක් වුණේ 87%ක් ලෙසිනි. 2019 වසරේ යෝජනා 76ක් ඉදිරිපත් වූ අතර ඉන් 56ක් පමණක් ක්‍රියාත්මක විය. 2021 දී ඉදිරිපත් වූ යෝජනා 36න් ක්‍රියාත්මක වූයේ 26ක් පමණි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම අයවැය කාර්යාලය ස්ථාපනය කිරීමත් සමග ඕනෑම මන්ත්‍රීවරයකුට අදාළ යෝජනාව පිළිබඳ මූල්‍යමය විවරණයක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.