Wednesday, November 05, 2025
Follow Us
ආංශික අධීක්ෂණ කමිටුවෙන් දුන් උපදේශය

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට සහ කැනේඩියානු අගමැතිවරයා විසින් කරන ලද ජන සංහාරය පිලිබඳ අසත්‍ය චෝදනාවලට එරෙහිව දැඩිව පෙනී සිටින ලෙස ආංශික අධීක්ෂණ කමිටුවෙන් උපදෙස්

 

  • ආරක්‍ෂක අමාත්‍යාංශය  විසින් සිදු කරනු ලබන යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් එමගින් සහ හමුදා කඳවුරු ඉවත් කර ගැනීමෙන්  කලාපීය ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට සහ පූජනීය ස්ථානවල ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නෙ‍ාවන බවටත් ප්‍රකාශයක්
  • මෙරට වාර්ගික කණ්ඩායම් අතර සහජීවනය ඇති කිරීමේ සහ අන්තවාදය පරාජය කිරිමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

මෙරට හමුදා නිලධාරීන්ට පවනා ඇති ජාත්‍යන්තර සංචාරක තහනම හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යයට බලපාන බැවින් එයට එරෙහිව පෙනී සිටීමේ අවශ්‍යතාවය සහ මෙම ගැටලුව විසඳීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමේ අවශ්‍යතාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා (07)  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එයට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කළේ තානාපතිවරුන් හරහා සහ ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වූ සෑම අවස්ථාවකදීම විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය එම රටවල අදාළ රජයන්ට දැඩි ලෙස දැනුම් දුන් බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ද අදාළ රජයන්ගෙන් ඉල්ලා ඇති බවද නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී.

මෙරට හමුදා සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහිව පෙනී සිටිම සඳහා අවශ්‍ය අදාළ සියලු කරුණු ඒකරාශී කොට ඒවා අදාළ තානාපතිවරුන් වෙත ලබා දෙන ලෙස කමිටුව විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම දරුස්මාන් සහ OICL වාර්තා ද්විත්වයෙන්ම තහවුරු වන පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නොවන හමුදා ගැටුමක් පැවති රටක් බැවින් එසේ හමුදා නිලධාරීන්ට සංචාරක තහනමක් පැනවීම ජිනීවා සම්මුතියටද  පටහැනි බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා ඉල්ලා සිටියේ මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව අනුමත කොට ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඊට විරෝධය පළ කිරීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගකිව යුතු නොවන බවට විදේශ අමාත්‍යාංශය විසින් වෙනත් රටවලට දැනුම් දුන් ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස කමිටුව විදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් නියමිත පරිදි ප්‍රමාණගත කිරීම සහ ඇතැම් ග්‍රාමීය පුදබිම්වලින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ එය ජාතික ආරක්ෂාවට ඇති කරන බලපෑම පිළිබඳව ද කමිටුව මෙහිදි විමසා සිටියේය. යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් හමුදාව ඉවත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට, කලාපීය ආරක්ෂාවට සහ පූජනීය ස්ථානවල ආරක්ෂාවට බලපෑමක් ඇති නොකරන ‍බවත්  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පැවසීය.

තවද, මෙරට වාර්ගික කණ්ඩායම් අතර සහජීවනය ඇති කිරීම පිළිබඳව ද කමිටුව සිය අවධානය යොමු කළ අතර, අන්තවාදය පරාජය කිරීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

මෙම රැස්වීමට රාජ්ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,  චන්දිම වීරක්කොඩි,යූ.කේ.සුමිත් උඩුකුඹුර, (ආචාර්ය. මේජර් ප්‍රදීප් උඳුගොඩ,  මේජර් සුදර්ශන දෙනිපිටිය, නිමල් පියතිස්ස සහ ආරක්‍ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල  ලේකම්වරයන්, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගි වූහ.