Wednesday, November 05, 2025
Follow Us
පාර්ලිමේන්තුව රැස්වන දිනය දැනුම් දෙයි

ලබන ජූනි 20 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ජූනි 20 වැනි අගහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව ප.ව 5.00 ට පමණ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන  බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීම සිදුවේ.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙනා යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.   

ජුනි මස 21 වැනි බදාදා පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට මෙහිදී තීරණය වී තිබේ.

අනතුරුව ප.ව 5.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද තිබේ.

ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව, පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා, විරුද්ධ පාර්ශවය ගෙනා යෝජනාවකට අනුව 2023.06.01 දින ජනාධිපතිතුමා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය වූ බවද මහලේකම්වරිය පැවසුවාය.

ජුනි මස 23 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයන් සදහා ශෝක යෝජනා පළ කිරීමටයි. මේ අනුව එදින  පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ලැරීන් පෙරේරා මහත්මිය,  රෙජිනෝල්ඩ් කුරේ මහතා, බුද්ධික කුරුකුලරත්න මහතා සහ ගරු මුත්තු සිවලිංගම් මහතා වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමට කාලය වෙන්කර තිබේ.