Wednesday, November 05, 2025
Follow Us
පාර්ලිමේන්තුවේ මෙහෙවර නොදත් පිරිස් එයට අපහස කරනවා - නි.කතානායක

රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු මහජන සේවාවන් වෙනුවෙන් සිදු වු ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුව සුවිශේෂී මෙහෙවරක් සිදු කර ඇති බවත් එම ඉතිහාසය ගැන කිසිදු කරුණක් නොදන්නා ඇතැම් පිරිස් නිකරුණේ පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


නියෝජ්‍ය කථානායකවරයා මේ බව පැවසුවේ හුංගම කණුකැටිය ප්‍ර‍දේශයේදී නව ලංගම බස් රථයක් පොදු මඟී ප්‍රවාහන සේවයට එක්කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගී වෙමිනි

නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"ර‍ටේ ඉදිරි සංවර්ධනයට අකමැති පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සමාජය තුළ වෛරය ඇතිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරනවා. “මේ රටේ ඉතිහාසයේ සිට මේ දක්වා රට සංවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අණ පනත් රැසක් සම්මත කරලා තියෙනවා. මුදල් වෙන්කරලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාවන්, ගොඩනැගිලි ඉදිකිරීම් වාගේම මේ රටේ මානව සම්පත වෙනුවෙනුත් විශාල වැඩකොටසක් රටේ නීති සම්පාදනය කරනු ලබන පාර්ලිමේන්තුව හරහා සිදුකර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ විවාද සිදුකරමින් ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් අදහස් ලබාගෙන මෙම අණ පනත් සම්මත කිරීම පසුගිය වසර ගණනාවක් තිස්සේ සිදු නොවුණානම් අද අපේ රට කොතනද තියෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ."