Wednesday, November 05, 2025
Follow Us
මාධ්‍ය මර්දනය කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ - ජනමාධ්‍ය ඇමැති

විකාශන අධිකාරි පනත මූලික කරගෙන මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත්  පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිණි.

ජනමාධ්‍ය අමාත්‍යවරායා වශයෙන් තමාට විකාශන අයිතියක් අවලංගු කිරීමට හෝ අලුතින් විකාශන බලපත්‍රයක් ලබා දීමට තනි බලයක් තිබුණද එවැනි ක්‍රියාවක්  තමන් කිසිදු විටෙක සිදු කර නොමැති බව අමාත්‍යවරයා පැවසීය. එසේ වුවද දියුණු  මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට  නම් යම්කිසි ක්‍රමවේදයක්, පිරිවිතරයක් හෝ අන්තර්ජාතික ක්‍රමවේදයට අනුව සකස් කිරීමක්අවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විකාශන අධිකාරි පනත පිළිබඳ අදහස එක් වරම ඇති වූ එකක් නොවන බවත් මින් පෙර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව සිටි චරිත හේරත් මහතා සිටි අවධියේ පටන්ම සාකච්ඡාවට නැගෙමින් තිබූ එකක් බවත් අමාත්‍යවරයා මෙහිදි සිහිපත් කළේය. ඒ අනුව දැනට කෙටුම්පත් කර ඇති මෙම පනත පිළිබඳව යම් අදහසක් ඇති නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් ඒ් වෙනුවෙන් නීතිමය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගත හැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.