මුල්ලේරියාව නැගෙනහිර කොලඹ මූලික රෝහලේ සිට පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒ යටතේ ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ නව බස් රථ ධාවනයට එක් කිරීම සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
සටන් පාඨ වලින් පමණක් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සැපයීමට හැකියාවක් නැහැ. ආණ්ඩු වෙනස් කිරීමකින් රට ඉදිරියට ගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ සඳහා වඩාත් ප්‍රබුද්ධ ලෙස කටයුතු කරමින් ආර්ථික විසඳුමක් සොයා ගත යුතුයි.
ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් අමාත්‍යාංශයේ විශේෂඥයින්, ඉන්දියාව, ප්‍රංශය, ජපානය, පැරිස් ආධාර කණ්ඩායම ඇතුළු රටවල් සහ සංවිධානවල විශේෂඥයින් නිතිපතා අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් කටයුතු කරනවා. ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ස්ථිර විසඳුමකින් තොරව සති දෙකක්වත් මේ රට පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ.එය අර්ථ ශාස්ත්‍රය සම්බන්ධ කරුණක්. සැප්තැම්බර් මාසය වන විට එම සාකච්ඡා සාර්ථක කර ගැනීමෙන් අනතුරුව රට යළිත් සාමාන්‍ය තත්වයට ගැනීමට හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා. අවාසනාවකට හෝ එසේ නොවුනහොත් ශ්‍රී ලංකාව ද ලිබියාව වැනි රටවල් පත් වූ තත්වයට පත්වීමේ අවදානමක් පවතිනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය තුලද පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් 2025 වසර වන විට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අභියෝගයට මුහුණ දී තිබෙන සිටිනවා. ඒ සඳහා ඉතාමත් කඩිනමින් ලංගම ඩිජිටල්කරණය කිරීමේ කටයුතු මේ විට සිදුකරමින් පවතිනවා. ප්‍රවේශපත් නිකුත් කිරිම, ඇතුළු අනෙකුත් ගිණුම්කරණ කටයුතු, පරිපාලනයට අදාළ අංශ ඩිජිටල්කරණය තුලින් වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොරව පවත්වාගෙන යෑම තුළින් අනිවාර්යෙන්ම 2025 වසර අදාල ඉලක්කයට යා හැකි බව මා විශ්වාස කරනවා.එමෙන්ම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන නව බස්රථ සඳහා අදාල වාරික අදාල දිනයට අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වනවා. ඒ සඳහා බස්රථ මගින් උපයන සම්පූර්ණ මුදල නිසි පරිදි ඩිපෝ වෙත ලබා දීමේ වගකීම රියදුරු කොන්දොස්තර මහත්වරුන්ට පැවරෙනවා. මෙතෙක් පරිපාලනය තුළ සිදුවූ වැරදි නිවැරදි කිරීම සඳහා කිසිඳු දේශපාලන හිතවත්කමක් නොමැති දක්ෂ නිලධාරියෙක් ලංගම සභාපති තනතුරට පත්කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස අද මා ඉටු කරන්නේ 1952 වසරේ සිට කරන ලද ඉල්ලීමක්. මෙතෙක් ඒ පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු නොවීම පිළිබඳ මා කණගාටු වනවා.කෙසේ නමුත් මෙතැන් සිට මෙම බස්රථ සේවාව රෝගී ජනතාවගේ සහ අනෙකුත් මගීන්ගේ යහපත වෙනුවෙන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු අප විසින් ඉටුකර තිබෙනවා.