Wednesday, November 05, 2025
Follow Us
එජාප ව්‍යවස්ථාව අලුත් කරයි

රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජුලි මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා ඇද වැටී තිබෙන රට ගොඩනගන්න නම් ශක්තිමත් පක්ෂ ව්‍යවස්ථාවක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කීය.

1987 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එජාපයට බලය අහිමි වූ බව කී වජිර අබෙිවර්ධන මහතා මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ ජේ.ආර් ජයවර්ධන යැයි ඇතැමුන් නොදැන කියූවත් එය සම්පූර්ණයෙන් වැරදි කතාවක් බවද මනාප ක්‍රමය හඳුන්වා දුන්නේ ආර්.ප්‍රේමදාස බව ද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල සහ හබරාදූව බල මණ්ඩල රැස්වීම් අමතමින් අබේවර්ධන මහතා මේ බව පැවසීය.
Lankadeepa