Wednesday, November 05, 2025
Follow Us
විකාශන අධිකාරී පනත් කෙටුම්පතට යෝජනා හා අදහස් ලබාදීමට තව කල් ඉල්ලයි

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු නීර්ණය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් අමාත්‍ය මණ්ඩලය පත් කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරපාල ද සිල්වා මහතා, සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා යන අමාත්‍යවරු කමිටු සාමාජිකයෝ වෙති.

එම අනු කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් නීතිමය රාමුවක් කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධව සලකා බලා පොදු එකඟතාවයකට පැමිණ අවසාන කෙටුම්පත සකස් කළ යුතු බවට තීරණය විය.
එම අවසාන කෙටුම්පත සකස් කිරීමට අදාළ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන් ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන රූපවාහිනී සහ ගුවන්විදුලි යන සියලුම මාධ්‍ය ආයතනය නියෝජනය වන පරිදි සියළුම විද්‍යුත් නාලිකා සාමාජිකයන් සමග සාකච්ඡාවක් 2023 ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාමර අංක 08හි පවත්වන්නට කටයුතු සංවිධානය කෙරුණි.
එම සාකච්ඡාවේ දී අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයන් ගේ අදහස් හා යෝජනා හුවමාරු කරගන්නා ලදි. එහෙත් එම සාකච්ඡාවේ දී ඔවුන් විසින් ඉල්ලා සිටියේ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට අනුව සිංහල පිටපතක් ලබා දීමට, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනත්, කෙටුම්පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකඟ විය. අනතුරුව විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් පවසන ලද්දේ පනත් කෙටුම්පත පිළිබඳව වැඩිදුර සොයාබලා පුළුල් අධ්‍යයනයක් සිදුකොට, විකාශන අධිකාරී අවසන් කෙටුම්පත සකස් කිරීමට අදහස් හා යෝජනා ලිඛිතව ලබාදීම සඳහා තවත් සීමිත කාලයක් අවශ්‍ය බවයි.