Saturday, November 30, 2024
Follow Us
ශ්‍රීලනිපයට හූ කියන්න එපා - මහින්දගෙන් නියෝගයක්

පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් එල්ල වන විරෝධය සමනය කිරීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකයන්ට සහ සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා. ඔහු පවසා තිබෙන්නේ මෙම විරෝධය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්දවලට අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

අනුරාධපුරදී පැවති පොදුජන පෙරමුණේ මංගල රැළියේදී හිටපු ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතාට පාක්ෂිකයන්ගේ විරෝධය සමගින් හූ සංග්‍රහයක් ලැබුණු අතර ඉන්පසු ජොන් සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක, තාරනාත් බස්නායක යන මන්ත්‍රීවරුන්ට මෙම අකරතැබ්බයට මුහුණදීමට සිදු විය.

ටී.බී. ඒකනායක මහතාට පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වූ රැස්වීමේදී හූ හඬ තැබූ පාක්ෂිකයන්ට පහර දෙන වීඩියෝවක් මේ වනවිට විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේ.

මෙම තත්ත්වය ඉදිරියේදී වෙනත් දිස්ත්‍රික්ක කරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති අතර එසේ වුවහොත් එය ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් වන බව පොහොට්ටුවේ නායකයන් තේරුම් ගෙන තිබේ. මේ වනවිට ගෝඨා - සජිත් සටන අතිශය උණුසුම් වී ඇති අතර ඒ නිසා ශ්‍රීලනිපයේ ඡන්ද කුට්ටිය පොදුජන පෙරමුණට අතිශය වැදගත් වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය ප්‍රචාරක මෙහෙයුමේ නායකයන් වෙත දැනුම් දී ඇත්තේ තමා සහභාගි වන රැස්වීම්වලදී මෙවැනි විරෝධතා සහ හූ සංග්‍රහ කෙසේ හෝ පාලනය කිරීමට කටුයුතු කරන ලෙසයි.

(LNW)