Thursday, March 28, 2024
Follow Us
විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අනිසි තරගයකින් තොර ව අන්‍යෝන්‍ය ගරුත්වයක් සහිත ව කටයුතු කිරීමට පාසලේ දී සිසුන් ලබන ශික්ෂණය, ඉදිරි සමාජ ප්‍රගමනයට මනා අඩිතාලමක් වන අතර ඒ සඳහා විදුහල්පතිවරයකු පාසල තුළ ප්‍රකට කරන නායකත්ව හැකියාව ප්‍රමුඛ දායකත්වයක් සපයන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආගමික උපදේශක මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

කාර්යාලයීය ක්‍රමවේද පිළිබඳ නිසි පුහුණුවක් ලබා දෙමින් හා අභ්‍යන්තර මාරුවීම් ක්‍රියාත්මක කරමින් අමාත්‍යාංශය තුළ සෑම මට්ටමක ම සේවකයන්ගේ ද ගුණාත්මක පක්ෂය ඉහළ නැංවිය යුතු බවත් ආකල්පමය වෙනසක් හරහා එම ඵලදායී වෙනස දීපව්‍යාප්ත ව පාසල් පද්ධතිය තුළ ද බලගැන්විය යුතු බවත් මේ වන විට සාර්ථක ව ක්‍රියාත්මක සතිමත්බව වැඩිදියුණු කිරීමේ සතිපාසල් වැඩසටහන ඊට දායක කරගත හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ අමතර පන්ති පවත්වන දේශකයකු බවට පත් නොවී සිසුන්ගේ ජීවිතයේ පුළුල් පරාසයකට සම්බන්ධ ගුරුවරයකු ලෙස ක්‍රියා කිරීමට ගුරුවරයා පෙළඹිය යුතු බවයි.