Thursday, March 28, 2024
Follow Us

නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (1) පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

රූපවාහිනී මාධ්‍ය බලපත්‍රය වලංගු වන්නේ නව පනත සම්මත වී මාස 6කට පමණක් බවත් ඉන් පසුව වාර්ෂිකව බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියකට රූපවාහිනී නාලිකා යොමු කිරීමට කටයුතු කර බවත්
විපක්ෂයේ පක්ෂ විධායක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී ඔහු පැවසීය.

බලපත්‍රය ලබා දීමේ දී අදාල මාධ්‍ය ආයතනය රජයට ගැති හෝ එසේ නොමැති ද කියා සොයා බලන බවත් එය පදනම් කර ගෙන බලපත්‍ර තහංචි ඇති කර මාධ්‍ය මර්ධනයේ අලුත් පරිච්ඡේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

එහි ප්‍රතිඵලයක් ලෙස රජය මෙමෙ කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ හරහා දැවැන්ත ලෙස මාධ්‍ය මර්ධනයක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් සිදු කරන බවත් ඔහු පැවසීය.

අධිකරණයේ පිහිට පතා මේ ක්‍රියාවලිය කෙසේ හෝ පරාජය කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. එල් පීරිස්, එම්. ඒ සුමන්තිරන්, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, එරාන් වික්‍රමරත්න යන මහතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

-Lankadeepa