Sunday, May 12, 2024
Follow Us
ශ්‍රීලනිප ටී.බී.ට සහ තාරානාත්ට පොහොට්ටුවෙන් නොනවතින හූවක්. සංවිධායකයින් පහර දෙයි !

ඊයේ (14) යාපහුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතාට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධය එල්ල විය.

පොහොට්ටු පාක්ෂිකයින් ටී. බී. ඒකනායක මහතාගේ කථාවට බාධා කරමින්, හූ කියමින් සහ බැණ වදිමින් ආවේගශිලී ලෙස හැසිරුණු අතර අවසානයේ රැස්වීමේ සංවිධායකයින් පැමිණ වැටවල් මත නැඟී, හූ කියන පාක්ෂිකයින්ට පහර දෙන ආකාරය ද දක්නට ලැබිණි.

මේ අතර ගල්ගමුව සතිපොළේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් ඇමතීමට වේදිකාවට ගොඩවූ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතාට පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් ලැබුණේ නොනවතින හූවකි. තාරානාත් බස්නායක මහතාට සිය කතාව පැවැත්වීමට කිසිදු ඉඩක් ලබා නොදෙමින් මහ හඬින් හූ කියූ සාමාජිකයින් පාලනය කරගැනීම සඳහා අවසානයේ පොහොට්ටුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාම මැදිහත් වුවත් මඳ වේලාවක් යන තුරු ඔහුටත් ලැබුණේ හූවමය.

"දයාබර මෑණිවරුනි, පියවරුනි, සහෝදර සහෝදරිය. මම කතා කරන්නෙ ජොන්ස්ටන්. මම කතා කරන්නෙ. අපි මේ සටන කරන්නෙ පරදින්න මිසක් ... දිනන්න මිසක් පරදින්න නෙවෙයි කියලා මං මතක් කරනවා" යනාදී වශයෙන් කටත් වරද්දා ගනිමින් සෑහෙන උත්සාහයක් දැරීමෙන් අනතුරුවය ඒ මහතාට තත්වය සමනය කරගැනීමට හැකි වූයේ.

කෙසේවෙතත් මේ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පොහොට්ටු වේදිකාවලදී හූ කීම රැල්ලක් ලෙස පැතිර යන බවක් දක්නට ලැබේ. මීට පෙර අනුරාධපුරයේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළියේදීම ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාටත්, ඇහැළියගොඩ පැවති රැළියේදී ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු වන ජෝන් සෙනවිරත්න මහතාටත් පොහොට්ටු පාක්ෂිකයින්ගේ විරෝධය මේ ආකාරයෙන්ම එල්ල විය.

පොහොට්ටුව සමඟ සන්ධානගත වීමේදී කෙළවරක් නොමැතිව නිවට වෙමින් ආත්ම ගෞරවය අහිමි කරගැනීම සහ එක්ව තරගවදින මහමැතිවරණයේදී මන්ත්‍රී ධුර අහිමි කරගැනීම යන දෙකම අදූරදර්ශී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසින් දැන්ම තියා තෝරාගෙන ඇති බව පොහොට්ටුව විසින් දිනපතා ඔප්පු කරමින් තිබේ.

(LNW)