Wednesday, April 24, 2024
Follow Us
වගකීම නිසි පරිදි ඉටු නොකිරීම පිළිබඳව කමිටුවේ දැඩි අප්‍රසාදය

බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ට බලශක්තිය සහ ප්රංවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නැවත කැඳවීමක් - වගකීම නිසිපරිදි ඉටු නොකිරීම පිළිබඳව කමිටුවේ දැඩි අප්‍රසාදය

• ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන ගැටලු රැසක් ද සාකච්ඡාවට
• 2021 වසරේ මණ්ඩලයේ පාඩුව රු. මිලියන 3059 ක් - 2022 වසරේ ලාභය රු. මි. 485 ක්
• රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක්
• විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් 500ක ප්‍රමාණයට වැටුප් ගෙවීම ගැටලුවක්

බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතුවල අවසන් තීරණයක් ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව ලබන පාර්ලිමේන්තු සතියේ කැදවන බව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ඊයේ (23) පැවසීය.

එසේම මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් කොළඹ ප්‍රධාන බස්නැවතුමේ බස් රථ, ඊළඟ ගමන් වාරය එනතුරු නවතා තැබීමට කොළඹ කොටුව ප්‍රදේශයේ සුදුසු ඉඩමක් වෙන් කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමටත් මෙහිදී තීරණය විය.

බත්තරමුල්ල බස් අංගනයක් ඉදිරිකිරීම සදහා මීට පෙර මෙම කාරක සභාවට කැදවා තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න ද ඒ සම්බන්ධයෙන් ක්රිේයාත්මක නොවිම පිළිබදව එම අධිකාරියට කාරක සභාවේ දැඩි අප්ර සාදය පළ විය.

එසේම බත්තරමුල්ල නගර සැලැස්ම තුළ බත්තරමුල්ල හන්දියට නුදුරු පොළ පිහිටි භූමියේ ඉඩමක් පිහිටියද මේ සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අප්‍රසාදය පළ කළේය. එම භූමිය බත්තරමුල්ල මංසන්ධියට නුදුරින් පිහිටි නිසා මාර්ග තදබදය ඇතුළු ගැටලු ඇතිවීමේ හැකියාව පවතින බව මෙහිදී එම නිලධාරිහු පැවසූහ.

එසේම මෙහිදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉදිරි සැලසුම් සහ 2021 වාර්ෂික වාර්තාවෙන් පැන නගින කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.
ශ්රීග ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන ගැටලු රැසක්ද මෙහිදී සාකච්ඡා විය. 8 ශ්‍රේණිය සමත් පුද්ගලයන් ඩිපෙ කළමණාකරුවන් බවට පත්ව ඇති බවත් ගණකාධිකරණ, තාක්ෂණික ඇතුළු අංශ ගණනාවක තනතුරුවල ගැටලු රැසක් පවතින බව ද මෙහිදී හෙළිවිය. මැතිවරණයකින් අනතුරුව සුදුසුකම් නැති ඇතැම් වෘත්තීය සමිති නායකයන් ඩිපෝ කළමනාකාරීත්වය ඇතුළු ඉහල තනතුරුවලට පත්වන බැවින් දේශපාලන අතපෙවීම්වලින් මුදවා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය.

එසේම 2021 වසරේ කොවිඩ් අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලය රු. මිලියන 3059 ක් අලාභ ලැබුවද 2022 වසරේ මණ්ඩලය රු. මි. 485 ක ලාභයක් වාර්තා කළ බවද මෙහිදී නිලධාරීහු පැවසූහ. වත්මන් ගැටලු අතර රියදුරු හා කොන්දොස්තර හිගය ප්‍රධාන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ. දැනට 26 561 ක සමස්ත සේවක පිරිසක් සිටින බවද රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව රජයේ අනුමතිය මත මෙම බදවා ගැනීම් සිදුකිරීමට කටයුතු සිදු කරන බවද නිලධාරීහු පැවසූහ.

එසේම විවිධ විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් දිවයින පුරා ඩිපෝ 107 ක 500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මෙහිදී අනාවරණය විය. පරීක්ෂණ අවසන් කරන තුරු ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

ආයතනයේ වැ‍ටුප් තල ඉතා පහළ අගයක් ගැනීම නව බඳවා ගැනීම්වලට විශාල ගැටලුවක් බව නිලධාරීහු පෙන්වා දුන්හ. වැටුප් සංශෝධන පිළිබදව පාර්ලිමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට ලක්විය යුතු කරුණු දැනුම් දෙන ලෙස කාරක සභා සභාපති නාලක කෝට්ටේගොඩ මහතා නියෝග කළේය.

එසේම ඉන්ධන භාවිතය සහ කළමනාකරණය පිළිබද දළ වාර්තාවක් ද කමිටුවට ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, යදාමිණි ගුණවර්ධන, උදයකාන්ත ගුණතිලක සහ කුමාරසිරි රත්නායක, ඉසුරු දොඩන්ගොඩ, රාජිකා වික්රඋමසිංහ සහ ජගත් කුමාර සුමිත්රාතරච්චි, යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.