Tuesday, April 23, 2024
Follow Us
සමූපකාර ව්‍යාපාර සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

විවිධ වංචා හා දූෂණ හේතුවෙන් සමූපකාර බැංකු ක්‍රමය සහ සමූපකාර ව්‍යාපාරය අද වන විට විශාල වශයෙන් කඩා වැටී ඇති බවත් , සමූපකාර ව්‍යාපාරය තුළ ඇති වී තිබෙන තත්ත්වය හා ඊට විසඳුම් ලබා දීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි තමන් යෝජනා කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මාහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමූපකාර බැංකු පද්ධතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද වන විට අහිංසක මිනිසුන් බොහොමයකට තමන්ගේ තැන්පත් පවා අහිමිවෙන තත්වයක් උද්ගත වී ඇතැයිද හෙතෙම පැවසීය.

සමූපකාර කේෂ්ත්‍රය පළාත් සභා විෂයට අයිති හෙයින් එය ඇමැතිවරයාට හෝ අමාත්‍යාංශයට පමණක් බාර නොදෙන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.
''මේ රටේ සමූපකාර ව්‍යාපාරය තුළ ඉතා හොඳ සමූපකාර පද්ධතියක් තිබුණත්, ඉතාම විශාල ලෙස වංචා, දූෂණය සහ අක්‍රමිකතා නිසා සමූපකාර බැංකු ක්‍රමයත්, සමූපකාරයේ දේපොළ පරිහරණයත් දේපොළ බඳු දීම හා වෙනත් ව්‍යාජ ආකාරයට විකිණීමත් පිළිබඳව මුළු රට පුරාම දැවැන්ත ලෙස විශාල ලෙස විනාශයක් සිදු වෙමින් තිබෙනවා. මේ පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කරලා පුළුවල් විමර්ශනයක් කරන්න ඕන. එහෙම නැතුව එය ඇමැතිවරයට, අමාත්‍යාංශයට විතරක් බාර දෙන්න එපා. මෙය පළාත් සභා විෂයක්. පළාත් සභා අය සමහර වෙලාවට රැස්වීම් වලට පැමිණේන්නේ නැති වෙනවා. මේ නියෝග පිළිපදින්නේ නැති වෙනවා. එම නිසා මේ සභාවට වගකීමක් තිබෙනවා රටේ සමූපකාර ව්‍යාපාරය වෙනුවෙන් මේ ව්‍යාපාරයේ ඇති වී තිබෙන තත්ත්වය සොයා බලන්න''යැයි පැවසීය.