Thursday, March 28, 2024
Follow Us
උතුරේ සිසුන් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණේ

යාපනයේ පාසල් ගණනාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පසුගියදා (12) පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණියහ.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ මහජනසේවා අංශයේ නිලධාරින් විසින් පැමිණි සිසුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක් සංවිධානය කර තිබිණි. පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව නැරඹීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවද ‍මෙහිදී සිසුන්ට හිමි විය.

මෙහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දුෂ්මන්ත මිත්‍රපාල, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න, උද්දික ප්‍රේමරත්න මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවීමටද සිසුන්ට අවස්ථාව හිමි විය.
ඒ අනුව, වඩමාරාච්චි කාන්තා මධ්‍ය විද්‍යාලය, තොන්ඩෛමානාරු වීරකත්තිපිලෛයාර් මහා විද්‍යාලය, වල්වෛ කාන්තා මහා විද්‍යලය, නෙල්ලියඩි මහා විද්‍යාලය, පොලිකන්ඩි හින්දු දෙමළ මිශ්‍ර පාසල, උඩුපිට්ටි කාන්තා විද්‍යාලය, විග්නේෂ්වරා විද්‍යාලය, කරවෙට්, වේලායුදම් මහා විද්‍යාලය, වඩමාරාච්චි හින්දු කාන්තා විද්‍යාලය, මෙඩිරිස්තා කාන්තා විද්‍යාලය, කොට්ට්‍රාවත්තෛ විදුහල යන පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් මෙලෙස පාර්ලිමේන්තු චාරිකාවට එක්ව සිටියහ.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කළ අතර, දිවයිනේ පාසල්, විශ්ව විද්‍යාල, වෙනත් අධ්‍යන ආයතන නියෝජනය කරමින් දහස් ගණනක් සිසුන් සෑම දිනකම පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණේ. එසේ පැමිණෙන සිසුන් සඳහා සියළු පහසුකම් සැලසීම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර නැරඹුම් චාරිකා සහ දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීම මෙන්ම ඒවාට අදාළ සමරු ඡායාරූප හා වීඩියෝ දර්ශන නිකුත් කිරීම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි