Wednesday, April 24, 2024
Follow Us
රජයේ සුබසාධන ප්‍රතිලාභ දීමේදී සැබෑ දුප්පතා හඳුනා ගත යුතුයි -  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේදී සැබෑ දුප්පතුන් නිවැරදිව හඳුනාගත යුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු ජන කොටස්වලට පවා දේශපාලන හිතවත්කම් මත එම ප්‍රතිලාභය හිමි වන බවත්, මෙය තවදුරටත් සිදු නොවිය යුතු බවත් ඒ මහතා පැවසීය. ඔහු කියා සිටියේ, මැතිවරණ වකවානුවලදි පැවැති සෑම රජයක් විසින්ම ජනතාවට සහනාධාර හා සුභසාධන ප්‍රතිලාභ ලබා දී ඇති අතර, එම තත්ත්වයන් හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩිව බලපෑම් එල්ල කර ඇති බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පැවති විවාදයට එක් වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

“සුබසාධන ප්‍රතිලාභ ලබා දෙන ක්‍රමයේ විවිධ ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණ වකවානුවලදී ලබා දෙන විවිධ සුබසාධන ප්‍රතිලාභ නිසා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වගකීම පැවැති සියලු ආණ්ඩු භාර ගත යුතුයි. පවත්වන සියලු මැතිවරණවලදී පැවැති රජයන් සහනාධාර දීම, සුභසාධන පහසුකම් ලබා දීම රජයන් විසින් සිදු කරනු ලැබුවා. අද වන විට තරුණ පිරිස් රට අතහැර යන තත්ත්වයට පත්ව තිබෙන්නේ දුගී භාවය නිසයි. දූගී බව අද විශාල ප්‍රශ්නයක්. අද වන විට භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් භාණ්ඩ මිල තීරණය කරන තැනට පත් වෙලා. පාරිභෝගික අධිකාරිය මේ තත්ත්වයන් කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. ඒ වගේම සමෘද්ධි අරමුදල ගත්තත් නුසුදුසු අය විශාල පිරිසක් සමෘද්ධිය ලබන බවට චෝදනා තිබෙනවා. දේශපාලන සම්බන්ධකම් නිසා හොඳ ආදායම් තිබෙන අය සමෘද්ධි ප්‍රතිලාභීන් බවට පත් වෙනවා. එක වේලක්, දෙවේලක් කන්න නැති ජනතාව සිටියදී යම් ආර්ථික හැකියාවක් තිබෙන අයට මේ අරමුදල් ලැබීම සාධාරණ නැහැ.”

Dinamina