Friday, April 26, 2024
Follow Us
ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරාගත් නියෝජිතයන් දැනුවත් කිරීමක් අද

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය සහිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසකට මෙම වැඩමුළුවට ආරාධනා කොට ඇත.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කෙරේ