Friday, April 26, 2024
Follow Us
වසරක් තුළ ආර්ථිකය වෙනස් වුණා - කම්කරු හා විදේශ රැකියා ඇමැති

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ අද මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත්, වසරක් තුළ රටේ ආර්ථිකය වෙනස් කිරිමට විගමණික ශ්‍රමිකයින්ට හැකිවූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා පිටත්ව යන පළමු ශ්‍රි ලාංකික හෙද පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට ඊයේ ( 12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදි එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලාංකිකයින්ගේ කාරුණික බව නිසා වැඩි වශයෙන් හෙද රැකියා ලාංකිකයින්ට හිමිවෙනවා. ලංකාවේ ඉන්නේ හෙදියන් 38000යි. හෙද හෙදියන් මදි. අපේ රෝහල්වලට ගැළපන ප්‍රමාණයට හෙදියන් වැඩි කරන්න පුළුවන් වුනොත් අපිට පුළුවන් වැඩි වශයෙන් හෙද වෘත්තිකයින් විදේශ රැකියාවට යවන්න. පහුගිය සතියේ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ මගිනුත් නව හෙදියන් පුහුණු කරලා විදේශ රැකියාවලට යවන්න පුළුවන්. එහෙම නැත්නම් රට තුළ Health Tourism ක්ෂේත්‍රය ආරම්භ කරන්න පුළුවන්. එමගිනුත් වැඩි වශයෙන් විදේශ විනිමය උපයාගන්න පුළුවන්.

දියුණු රටවල් වන එංගලන්තය, කැනඩාව, ජර්මනිය, ඇමරිකාව වැනි රටවල ලාංකික හෙද නිළධාරීන්ට රැකියා අවස්ථා විශාල වශයෙන් ලැබෙනවා. නමුත් ගැටළුව තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඔවුන් නිදහස් කරන්නේ නැති එක. එහෙම නැත්නම් රෝහල්වල නිලධාරීන් අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නේ නෑ. ලංකාවේ හෙදියන් විදේශ රටවල රෝහල්වල සේවයට ගියාම තාක්ෂණික දැනුම අරගෙන තමයි ආපහු එන්නේ. ඒ ආයෝජනය යන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ඒ රටවල හෙද ක්ෂේත්‍රය ගොඩක් දියුණුයි."