Saturday, April 27, 2024
Follow Us
එජාපයට සහාය දීම ප්‍රතිපත්ති කැඩීමක් – දයාසිරිගෙන් පක්ෂ අනුශාසක චන්ද්‍රිකාට කන පැලෙන උත්තරයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පක්ෂය පිහිටුවීමේ මූලධර්මවලට අනුව එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නොගැළපෙන තත්ත්වයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඊයේ (13 වැනිදා) දැනුම් දී තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව දැනුම් දී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම ගැන හිටපු ජනාධිපතිනිය විරෝධය පළ කිරීමට පිළිතුරක් ලෙස දයාසිරි ජයසේකර මෙම සටහන තබා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගනු ලැබුවේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පක්ෂය පිහිටුවීමේ ප්‍රතිපත්ති, වටිනාකම් ආරක්ෂා කරමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹ ඇත. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති රාමුව ඇතුළතශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන්ට සහාය දැක්විය නොහැක.

පසුගිය යහපාලන රජයට පෙර නොවූවිරූ ලෙස සංකීර්ණ ගැටලුවලට මුහුණදීමට සිදුවූයේ එම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලය වූයේ මීට මාස 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන රජයෙන් ඉවත්වීමය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදෙන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර තිබේ. මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම හොඳම ගැළපෙන විකල්පය බව දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිනියට පෙන්වා දෙයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව මහලේකම්වරයා ලෙස පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි. පෞද්ගලික දැක්මට වඩා ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ඔහු සඳහන් කරයි.

පෞද්ගලික ප්‍රතිපත්තිවලින් තොරව ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා තීන්දු තීරණ ගත යුතුයි. රටේ යහපත වෙනුවෙන් පුළුල් තීරණ ගත යුතුයි. ඔබ ජනාධිපති ධුරයේ කටයුතු කරන විට ජනතා විමුක්ති පෙරමුණ සමග ඒකාබද්ධව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළේද එවැනි තීරණයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිනියට පෙන්වාදී තිබේ.

(Lanka Leads)