Sunday, April 28, 2024
Follow Us
නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණ කරනවා – සජිත්

එජාපෙ ආණ්ඩුවක් තුළ ඥාති සංග්‍රහයන් සහ පවුල් දේශපාලනය නොමැති බවත්, තම අරමුණ දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට ඒ තැන සහ ශක්තිය ලබාදීම බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැල්ලවාය බස් නැවතුම් පොළ ඉදිරිපිට ඊයෙ (13දා) පැවැති ජන හමුවකට එක්වෙමින් මේ අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා,

“ජයග්‍රහණයෙන් පස්සේ අපි අලුත් ගමනක් යන්නේ. පරණ තාලේ ඉබිගමන් ගමන් නෙවෙයි. හැමෝම ලෑස්ති වෙන්න ඕන මගේ වේගෙට වැඩ කරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕන කැප කරන්න. ඒ නිසා අපි අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා, දක්ෂයන්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලඥයන් ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නෑ, දූෂිතයන් ගාවගන්නෙත් නෑ. දක්ෂ තරුණ පෙළක් ඉන්නවා. අත්වල ලේ ජරාව නොගෑවුණු තුන්වැනි පෙළක් ඉන්නවා. ඒ නිසා අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ මේ රටේ ඉතිහාසයේ ඓතිහාසිකම ජනතා සංවර්ධන යුගය ඇති කරනවා.

එළඹෙන මැතිවරණයේදී ඓතිහාසික ජනවරම ලබාදෙනකොට රටේ ජනාධිපතිවරයා හැටියට මුළු රටටම වගකියන, රටම ආවරණය කරන ජනාධිපති විශේෂ කාර්ය සාධන බළකායක් පිහිටුවලා හැම උපදිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකකය අපි ස්ථාපනය කරනවා.

ජාතික සංවර්ධන විශේෂ කාර්ය සාධන බළකාය ස්ථාපනය කරලා නවීන තාක්ෂණය තුළින් රටක් පාලනය කරනකොට ඊ රාජ්‍ය පාලනය තුළින් දිනපතාම හැම දිසාපති කොට්ඨාසයකම, ගමකම, වසමකම ආරම්භ කරන ව්‍යපෘති ජනතාවගේ ඉල්ලීම් බලාපොරොත්තු අධිකෂණය කරනවා.

ගැටලු ප්‍රශ්න තියෙන හැම පුරවැසියෙක්ම සාමාජිකයෙක් කරගන්නවා. ඒකට පක්ෂ, පාට, කුල ආගම් භේදයක් නෑ. නිවාස රැකියා ප්‍රශ්නද, මාර්ග, පාසල් ප්‍රශ්නද, රෝහලේ ප්‍රශ්නද, පෙරපාසලේ ප්‍රශ්නද, රටේ ජනාධිපතිවරයා දැනුවත් වෙලා, විසිහතර පැයේම, තුන්සිය හැටපස් දවසෙම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කරලා, මුර ක්‍රමයට දිවා කාලයෙත්, රාත්‍රී කාලයේත් වැඩ කරන්නටත් වැඩපිළිවෙළක් සකස් කරලා, නොනිදන ජනතා සේවාව ඉදිරියට කරගෙන යනවා” යනුවෙන් කියා සිටියේය.

(Lanka Leads)