Friday, March 29, 2024
Follow Us
දේශද්‍රෝහි ප්‍රකාශයක් පිළිබඳව අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවෙදී කතා කරයි

මෙරට අධිකරණය පිළිබඳ විශ්වාසයක් නොමැතිව, සිංගප්පූරු අධිකරණයේ එක්ස්ප්‍රස් පර්ල් නඩුව පැවරුවා යැයි කරනු ලබන ප්‍රකාශය රටට එරෙහිව කරන දේශද්‍රෝහී ප්‍රකාශයක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දින විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,

මෙම නඩුව මේ වන විට සිංගප්පූ මහාධිකරණයේ විභාග වෙමින් තිබෙනවා.ඊයේ දින එම නඩුව කැඳව්වා. නැවත ලබන 15 දා, එම නඩුව කැඳවනවා. මෙම නඩුව මේ රටේ මිලියන 22ක් ජනතාව වෙනුවෙන් විදේශ රටක පවරන නඩුවක්.

අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ කියලා විපක්ෂය කිව්වා. එය අධිකරණයට කළ අපහාසයක්. සිංගප්පූරුවේ මේ නඩුව පැවරීම ගැන මම මේ පාර්ලිමේන්තුවේ මිට ඉහතදී ප්‍රකාශයක් කළා. මේ නැව ලියාපදිංචිය තිබෙන්නේ සිංගප්පූරුවේ. එහි අයිතිකරුවා සිංගප්පූරුවේ. අපි මේ රටේ නඩුව පැවරුවොත් සිතාසියක් වත් බෙදාගන්න බැහැ. මෙරට නඩුවක් පැවරුවත් එය ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. සිංගප්පූරුවේ පවතින නීතිය අනුව සමාගමට එරෙහිව ගන්න නඩු තීන්දුවක්, රක්ෂණ සමාගමට එරෙහිව කළ හැකි නීතියක් තිබෙනවා.මේ රටේ නඩුව පැවරුවේ නැහැ කියන්නේ දේශද්‍රෝහි ප්‍රකාශයක්.

පාර්ලිමේන්තුව තුළ මෙම නඩු තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමෙන් එය මාධ්‍ය හරහා ජනතාවට යාම තුළින්, ජනතා මතයක් ඇතිවීමෙන් විනිසුරුවරුන්ගේ මනසට බලපෑමක් ඇත වන බවද හෙතෙම සඳහන් කළේය.ඒ හේතුවෙන් අධිකරණය ලබා දෙන නඩු තීන්දුවට යම් බලපෑමක් ඇති විය හැකි බවද පෙන්වා දුන්නේය.