Sunday, April 28, 2024
Follow Us
කලින් වගේ නෙවෙයි. ජනතාවගෙන් උපදෙස් අරන් අපි රට පාලනය කරන්නේ - මහින්ද

තමන් බලයට පැමිණියහොත් මෙවර රට පාලනය කරන්නේ ජනතාවගෙන් උපදෙස් ගනිමින් ජනතාවගේ උපදෙස් අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"අපි තමුන්නාසෙලාගෙන් ඇහුවා ගමින් ගමට ගිහිල්ලා ඇහුවා අපි මොනවද කළ යුත්තේ කියලා. බලයට ආවත් තමුන්නාන්සෙලාගෙ උපදෙස් අරගෙන තමයි රට පාලනය කරන්නෙ. රට පාලනය කරන්න අපි තමුන්නාන්සෙලාගෙන් උපදෙස් ගන්නවයි කියන එක අපි බය නැතුව කියනවා. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයයි අපි ඉටු කරන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කඩවත ප්‍රදේශයේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ රැළියක් අමතමිනි.

කෙසේවෙතත් 2005 - 2015 අතර කාලසීමාව තුළ රාජ්‍ය බලය තිබියදී රාජපක්ෂලා රට පාලනය කළේ තමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ වුවමනාවන් පමණක්ම පෙරටු කරගනිමින් බව රටේ ජනතාවට අමතක නැත. පවුලේ සාමාජිකයින්ගෙන් පිට වෙනත් අයකුගෙන් උපදෙස් ලබාගත්තා නම් ඒ ජ්‍යෝතිෂඥයින්ගෙන් පමණි. වෙනෙකක් තබා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහ විධායක ජනාධිපති ධුරය ද තමන් අත තිබියදී වසර දෙකකට පෙරම පාලනය නිම කර ඔවුන්ට ගෙදර යන්නට සිදුවූයේ ද මෙකී පවුල් පාලනය නිසාය.

රාජපක්ෂලා මොනවා කීවත් මෙකී පවුල් පාලන මානසිකත්වයෙන් මිදී නොමැති බව පෙනෙන්නේ මෙවරත් අපේක්ෂකයා ලෙස අවම වශයෙන් පක්ෂ සාමාජිකත්වයක්වත් නැති රාජපක්ෂ කෙනෙකුම මිස වෙනත් අයකු ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොවුණු නිසාය.

මේ අතර රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවයන් තමන්ගේ අවශ්‍යතාවයන් ලෙස භාරගන්නා මානසිකත්වයක් ඇති යම් ජන ප්‍රතිශතයක් ද රටේ සිටින බවත් අමතක කළ යුතු නැත.

(LNW)