Saturday, April 27, 2024
Follow Us
තොණ්ඩමන් ගියාට ප්‍රශ්නයක් නෑ. සජිත් ලක්ෂ 2කින් නුවරඑළිය දිනනවා - දිගම්‍බරම්

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම ප්‍රශ්නයක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් නුවර එළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බවත් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එකම කණ්ඩායමක් වන අතර ලංකා කම්කරු කොංග්‍රසය ද 2015 ජනාධිපතිවරණයේදී ඒ කඳවුර සමඟම එක්ව සිටි නමුත් නුවර එළිය මස්කෙළිය තමන් ජයග්‍රහණය කළේ ඡන්ද 175000ක් ගනිමින් බවත් ඒ මහතා සිහිපත් කළේය.

මෙවර තත්වය ඊටත් වඩා වෙනස් බවත් වතු ජනතාවට ප්‍රජා අයිතිය, ඡන්ද අයිතිය ලබා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියා බැවින් ඒ කළගුණ සලකමින් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතා වැඩිම මනාපයෙන් දිනවීමට වතුකරයේ ජනතාව සූදානමින් සිටින බව ඒ මහතා සඳහන් කළේය.

එසේම මේ වනවිට තමන් වතුකරයේ ජනතාවට විශාල සේවයක් කර ඇති බැවින් පසුගිය වතාවට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට තමන්ට හැකියාව පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව තමන් දැනටමත් ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට නුවර එළියේ රැස්වීම් පැවැත්වීමට හෝ අවශ්‍ය නොවනු ඇති බවයි දිගම්බරම් මහතා සඳහන් කළේ.

පලනි දිගම්බරම් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) හැටන් නීග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)