Sunday, April 28, 2024
Follow Us
ශ්‍රීලනිපයට නාමයෝජනා සීයට තිහක් දෙනවාට පොහොට්ටුවේ දැඩි විරෝධයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම පසුගිය 10 වනදා උත්සවාකාරයෙන් අත්සන් තැබුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මහමැතිවරණය සඳහා බිහි කෙරෙන සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් 30%ක් ලබාදීමට එකඟවීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරමින් සිටින බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් සන්ධානයක් තුළ සිදුවන්නේම ප්‍රධාන දේශපාලන පක්ෂයේ ඡන්ද කුට්ටිය භාවිතා කරමින් කුඩා පක්ෂවල ජනප්‍රිය නායකයින් වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු පැමිණීම ය. එහෙයින් වසර පහක් තිස්සේ තමන්ව නොයෙක් අයුරින් පීඩාවට පත් කළ සහ තමන්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිය නාමයෝජනා ලැයිස්තුවෙහි එල්ලාගත යුතු නැතය යන්න පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ තර්කය වී තිබේ.

එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී අලුත්, ජනප්‍රිය මුහුණු 20ක් පමණ පොහොට්ටු ලැයිස්තුවට එකතු වීමේ බලාපොරොත්තුවෙන් පසුවීම ද මෙම විරෝධතාවට ප්‍රධාන කරුණක් ලෙසින් බලපා තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතියට මුල සිට දායක වූ විශ්‍රාමික හමුදා නිලධාරීන්, වියත් මඟ දේශකයින්, එළිය සංවිධානයේ සාමාජිකයින්, ජනප්‍රිය භික්ෂූන් ඇතුළු පිරිසක් මෙසේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටිති. ඔවුන්ටත් නාමයෝජනා ලබාදුන් පසුව මුල සිටම පොහොට්ටු සාමාජිකයින් ලෙස කටයුතු මන්ත්‍රීවරුන්ට ඉතිරි වන්නේ සීමිත අවස්ථාවක් වන අතර ඔවුන්ගේ බලාපොරොත්තු අනුව සිය පවුල්වල සාමාජිකයින්ට නාමයෝජනා ලබාදීමට අවස්ථාවක් නොලැබෙන මට්ටමේ වාතාවරණයක් දැනටමත් උද්ගතව ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වන අපේක්ෂකයින් කිසිසේත්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බවට බැසිල් රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ද මෙම නාමයෝජනා ලැයිස්තු අර්බුදය තීව්‍ර කිරීමට හේතුවක් වී ඇති බව සඳහන්.

ඒ අනුව පොහොට්ටු වේදිකා මතදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ හඬ එල්ල වන්නේ හුදෙක් බිම්මට්ටමේ පාක්ෂිකයින්ගේ වුවමනාව අනුවම නොවන බවත් එය පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් සංවිධානාත්මකව සිදු කෙරෙන්නක් බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

(LNW)