Wednesday, November 05, 2025
Follow Us
මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - අගමැති

යුරෝපයේ හා ජපානයේ මාළු ඉල්ලුම සපුරාලමින් මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (08) කොළඹ පදනම් ආයතනයේ පැවති සීමාසහිත සී-නෝර් පදනමේ පනස් පස්වන සංවත්සරයට සමගාමීව ඉදිරිපත් කළ පස් අවුරුදු සැළැස්ම හා වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමිණි.

අධි තාක්ෂණය භාවිතා කරමින්, අඩු වියදමින් වැඩි මත්ස්‍ය නිෂ්පාදනයක් සඳහා වූ බෝට්ටු නිෂ්පාදනය හරහා ධීවර අමාත්‍යංශයේ වැඩසටහන් වලට දායකත්වය ලබාදෙන සීනෝර් පදනම ඇරඹෙන්නේ 1967 වසරේදී නොර්වේ රජයේ අනුග්‍රාහකත්වයෙනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

"අපි අවුරුදු දෙසීයක් පමණ කාලයක් තේ, රබර් අපනයනය කරනවා. ඒ වගේම අනාගතයේදී ධීවර මත්ස්‍ය අපනයනය වැඩි කරන්න පුළුවන්. සීනෝර් ආයතනය බිහිවීමෙන් පසුව අලුත් තාක්ෂණය ධීවර කර්මාන්තය සමඟ මුසුකර තිබෙනවා. මෙම ෆයිබර් ග්ලාස් තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන අපේ ධීවර කර්මාන්තය තුළ විශාල පරිවර්තනයක් කළ හැකියි. සංචාරක ක්ෂේත්‍රයට පිවිසිය හැකිවන ලෙස විවිධ නව බෝට්ටු නිෂ්පාදනය සඳහා වූ සුවිශේෂ අලුත් පියවර රැසක් මෙම සැලසුමට ඇතුළත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදුකරයෙන් අල්ලන මාළු රසින් වැඩි බව පවසන යුරෝපය හා ජපානය අපෙන් ඉල්ලා සිටින මාළු ඉල්ලුම සපුරාලන්න අදටත් අපිට හැකි වෙලා නැහැ. නව ක්‍රියාකාරී සැලැස්ම තුළින් එම ඉල්ලුම සපුරාලීමේ මූලික අඩිතාලම ආරම්භ කෙරෙනවා. මාළු සුරක්ෂිතව කල්තබා ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සඳහා අලුත් වැඩපිළිවෙළකට ලෝක ආහාර සංවිධානය සංවිධානය පිවිසුනා. ෆයිබර් ග්ලාස් තාක්ෂණය වැඩි ප්‍රයෝජනයකට පරිවර්තනය කරමින් මාළු සුරක්ෂිත කිරීමට හැකි ක්‍රම පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්ෂේත්‍රවලට පිවිසෙමින් අභියෝගය ජය ගන්න ඕනේ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න ඕනේ. මුහුදේ ගමන් කරන හැම ධීවර යාත්‍රාවකට සංඥා පද්ධතියක් සවි කිරීමට අවශ්‍ය යන්ත්‍රය ලබා ගැනීමේ වැඩපිළිවෙලකටත් අපි අවතීර්ණ වුණා.”