Wednesday, November 05, 2025
Follow Us
ප්‍රතිත්‍රස්ත පනතට ආණ්ඩුවත් බෙදේ

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්තිවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම විරෝධය පළකිරීම ඊට හේතු වී ඇතැයි දැනගන්නට ඇත .

විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතාද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට එකඟ විය නොහැකි බව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය .

මේ අතර ,යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද් කුමාර් මහතා ද උතුරේදී ප්‍රකාශ කළේය.

මෙම තත්වය හමුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ.

මේ අතර, මෙම පනත් කෙටුම්පත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ පහරක් බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ද මීට සති කිහිපයකට පෙර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ.

පනත් කෙටුම්පතින් ත්‍රස්තවාදය යන්න නිර්වචනය කිරීම සහ රඳවා තබා ගැනීමේ විධිවිධාන නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ,ප්‍රතිත්‍රස්ත පනත ගෙනඒමට රජය තීරණය කළ අතර එය ඉකුත් 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මහා සංඝරත්නයෙන් මෙන්ම ,පොදුවේ සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දින නියමයක් නොමැතිව කල් ගිය අතර,සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර, යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ ද තීරණය කර ඇත.

Lankadeepa