ස්ථාවර ආයෝජන ප්‍රතිපත්තියක් සහ ඒකාබද්ධ ආයෝජන නීතියක් හඳුන්වාදීමට විශේෂඥ දැනුමෙන් සපිරි කමිටුවක් පත් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පැවති රැස්වීමක් අමතමිනි.
ආයෝජනය සඳහා ආසියානු කලාපයේ පහසුම සහ ආකර්ෂණීයම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව පෙන්වා දුන් ඒ් මහතා ආයෝජකයකු පැමිණි පසු අපහසුවෙන් තොරව තම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි නව වැඩපිළිවෙළක් හඳුන්වාදීම මෙයින් අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දුන්නේය.
ඉතා කෙටි කලකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විවිධ සේවාවන් තවදුරටත් නම්‍යශීලි කිරීමට හැකිවී තිබෙන අතර ඒ වෙනුවෙන් නව පියවර කිහිපයක් දැනටමත් ගෙන තිබෙන බවත් ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීම, තොරතුරු තාක්ෂණ සේවා සමාගම් 100 ආකර්ෂණය කරගැනීමට ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, දැනට පවතින ආයෝජන මණ්ඩලයේ සමාගම් 50ක් ප්‍රතිආයෝජනය කිරීමට දිරිගැන්වීම ඒ අතර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ වගේම හඳුනාගත් අංශ සඳහා උපදේශක සභා පිහිටුවීම, ප්‍රධාන ආයෝජක සේවා ඩිජිටල්කරණය, ජාත්‍යන්තර හරිත ප්‍රමිතීන් සපුරාලීමට පවතින කලාප නවීකරණය කිරීම, හවුල්කාරීත්ව සොයාගැනීමේ දත්ත ගබඩාව හඳුන්වාදීම, පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහන ආදී පහසුකම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන බව ද අමුණුගම මහතා වැඩිදුරටත් පැවසිය.