Thursday, November 06, 2025
Follow Us
ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කෙරේ

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමේ මාර්ග සැලැස්ම පිළිබඳව කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.

එසේම මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ හා මහජන අදහස් හා යෝජනා විමසීමෙන් පසු ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නුදුරේදී ඉදිරිපත්කරන බව එම අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එසේම මෙහිදී මෙරට සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රසම්පාදනය ක්‍රියාවලිය විද්‍යුත් තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීම (e-Procurement System) පිළිබඳව මින් පෙර රැස්වීමේදී දෙන ලද නියෝගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.
මේ අනුව මෙම ක්‍රමවේදය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව මෙම අනු කාරක සභාවේ සභාපති නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව මේ වර්ෂයේ ජූනි මාසය වන විට කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක් සඳහා අත්හදාබැලීම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.
තවද රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම මගින් පහසු සහ ඉක්මන් සේවයක් ඇතිකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සඳහා සැලසුම්කොට ඇති වැඩපිළිවෙළ හා එහි වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන් ඉදිරිපත්කිරීමක් සහිතව පැහැදිලි කිරීමද මෙහිදී සිදු විය.
මෙම කාරකසභාව සඳහා අමාත්‍ය නසීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රි අසංක නවරත්න යන මහත්වරු සහභාගී වූහ.