එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුමේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
රටට නිදහස දිනාදුන්, ජාතිවාදී, ආගම්වාදී, පටු රාමුවෙන් මිදුණ විශ්වීය ගුණ ඇති පක්ෂයක් මෙන්ම, ලිබරල් ප්‍රතිපදාවකින් යුත් පක්ෂයක් ලෙස මානව සම්පතේ හෙට දවසේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පහත යෝජනා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
1. කම්කරුවාගේ තිරසර ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය සහතික කරමින් කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතරම ශක්තිමත් ව්‍යවසායකයෙක් නිර්මාණය කරන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දිරිගන්වන ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කර ව්‍යවස්ථාදායකය තුළ සම්මත කරගැනීම
2. සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබා දෙන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීමටත්, දායකත්වය ලබාදෙනු ලබන ආයතන ප්‍රමාණය ඉහළ නංවාගැනීමටත් වන සක්‍රීය හා ඵලදායී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම සහ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු අයත් සේවක අර්ථ සාධක අරමුදලට ඇතුළත් කර ගැනීම
3. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාවර කිරීම සදහා පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. රටේ ආර්ථිකය තුළ විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඇතුළත් නොවන අසංවිධිත අංශයේ සේවකයින් වෙනුවෙන් පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමටත් රැකියා අවසාන කිරීමකදී හෝ රැකියාව අහිමිවීමේදී ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ආකාරයේ දායකත්ව විරැකියා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරම
4. 2048 දී සංවර්ධිත රටක් වෙනුවෙන් වන උපායමාර්ගික වැඩපිළිවෙලට ගැලපෙන ආකාරයට මානව සම්පත, ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීම සදහා කටයුතු කරමින් මීලග ශිෂ්ඨාචාරය ජයගත හැකි නවීන වැඩ ලෝකයට ගැලපෙන මානව සම්පතක් බිහි කිරීම සදහා වන උපාය මාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
5. ආර්ථික වශයෙන් ඵලදායී මානව සම්පතක් බිහි කරගැනීමටත්, විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සදහාත් කම්කරු ක්ෂේත්‍රය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම
6. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගෙන ඇති පරිදි, වෘත්තිය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් යන්නට ගරු කරමින්, සියලුම සේවා ස්ථානවල ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සුරක්ෂිත කිරිම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම
7. සේවා ස්ථානයේදී ලිංගිකත්වය මත පදනම්වූ වෙනස්කම්වලට භාජනවීමෙන් වැලැක්වීම සදහාත්, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නංවාගැනීම සදහාත්, සේවයේ යොදවා ඇති සේවිකාවන්ගේ මාතෘ ප්‍රතිලාභ සමාජ ආරක්ෂණ අරමුදලකින් ගෙවීම සදහාත් විධිමත් නෛතික රාමුවක් සකස් කිරීම
8. ඕනෑම වෘත්තියක නිරතවන ශ්‍රමිකයාගේ අභිමානය, ගරුත්වය සහ වෘත්තිකත්වය ආරක්ෂාවන වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම
9 ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මානව සම්පත් ලෙස දිරිගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම.
10. අයිතිවාසිකම් සහ සුභසාධනය ශක්තිමත් , නූතන වැඩ ලෝකයට ගැළපෙන වතු කම්කරුවෙක් නිර්මාණය කිරීම
11. අනාගත වැඩ ලෝකයේ ඇතිවන තාක්ෂණික වෙනස්කම් සදහා ප්‍රතිපත්‍ති සම්පාදනය සදහා විශාල දත්ත ඒකරාශී කරගැනීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය ශ්‍රම වෙළදපොල පදනම් කරගත් ජාතික වෙළදපොල තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම