Thursday, November 06, 2025
Follow Us
මැයි රැලි පැවැත්වෙන ස්ථාන

ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර මැයි දිනය හෙටට (01) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් හෙට සිය මැයි රැලි පැවැත්වීමට මේ වන විටත් කටයුතු රැසක් සුදානම් කර අවසන්ය.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය.

ඒ සඳහා පක්ෂයේ ඉදිරිපෙළ දේශපාලන නායකයින් රැසක් සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැයි රැලිය හෙට පස්වරුවේ පැවැත්වීමට සුදානම් කර ඇත්තේ බොරැල්ල කැම්බල් පිටියේදීය.

එහි ප්‍රධානත්වය පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරීමට නියමිතය.

 " වැඩබිමේ අරගලය මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් " යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය හෙට පස්වරුවේ මාළිගාවත්ත පී.ඩි. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භවීමට නියමිතය.

අනතුරුව එම පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සංවිධානය සුදානම් කර ඇත්තේ ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදිය.

 ජාතික ජනබලවේගය මෙවර සිය මැයි රැලිය සංවිධානය කර ඇත්තේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටදිය.

 පෙරටුගාමි සමාජවාදී පක්ෂය හෙට පස්වරුවේ දෙල්කඳ හන්දියෙන් සිය මැයි පෙළපාලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර පසුව නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨයේදි සිය මැයි රැලිය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

උත්තර ලංකා සභාගයේ මැයි රැලිය හෙට පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ හයිඩ් පාක් පිටියේදිය.

මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ 02ක් සිය මැයි දින සැමරුම් කොළඹින් පිට පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින සැමරුම මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට හෙට පැවැත්වීමට සැලසුම් කර ඇත.

නිදහස ජනතා සන්ධානය සිය මැයි දින සැමරුම මහනුවර සහස් උයන ඉදිරිපිට හෙට පැවැත්වීමට සැපසුම් කර තිබේ.

-Aruna