Friday, November 29, 2024
Follow Us
මම ගෝඨාට එදත් අදත් හෙටත් විරුද්ධයි - ගෝඨාට එරෙහිව වෙල්ගම පෙරමුණට

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය ලබා දුන්නද තමන් කිසිලෙසකින්වත් ඔහුට සහය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රතික්ෂේප කිරීමෙන් තමන් හංසයාට සහය දක්වන බවක් අදහස් නොකරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට නායකත්වය දෙන බවයි වෙල්ගම මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරාගැනීමට තමන් එදත් අදත් හෙටත් විරුද්ධ වන ආතර එම ස්ථාවරයේ වෙනසක් නොවන බව ඔහු කියාසිටියි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් යැයි කියා ගන්නා අය පක්ෂය විකුණා ඇති අතර වරින් වර ඕනෑ එපාකම් පිරිමහන්න පක්ෂය උගස් තබමින් සිටින බවයි වෙල්ගම මහතා පෙන්වාදෙන්නේ.

එහෙයින් තවදුරටත් ශ්‍රීලනිපයට එවැනි ඉරණමක් අත්වියයුතු නැති හෙයින් අනාගත පරම්පරාව වෙනුවෙන් හෝ පක්ෂය ආරක්ෂා කරගැනීමට මැදිහත්වන බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා සියලු ශ්‍රීලනිප පාක්ෂිකයන් එකෙතුවන ලෙසද ඉහු ඉල්ලීමක් කරයි.

කුමන ආකාරයක තර්ජන ආවද තමන් මැරෙන්න බිය නැති අතර පක්ෂය වෙනුවෙන් එම කැප කිරීම සිදුකරන බවද ඔහු ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණ සටන ආරම්භයේ පටන්ම කුමාර වෙල්ගම මහතාගේ ස්ථාවරය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට ඉදිරිපත්විය යුතු බවයි. ඉදිරිපත්කිරීමට අපේක්ෂකයෙක් නොමැති නම් තමන්ට හෝ ඊට ඉදිරිපත්විය හැකි බව පැවසුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීන්දුව එසේ නොවීම මත වෙල්ගම මහතා ස්වාධීන වීමට තීරණයක් ගෙන තිබුණි.

පක්ෂ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන රැවුලයි කැඳයි දෙකම බේරාගනිමින් රටේ වත්මන් නායකයා බව පවසමින් නිෂ්ක්‍රීය වූ අතර අවසානයේ කිසිදු කොන්දේසියකින් තොරව ශ්‍රීලනිපය පොහොට්ටුවට පාවාදීම සිදුකරන ලදී.

අවසන් මොහොත වන තෙක් පොහොට්ටු ශ්‍රීලනිප සන්ධානයේ ලකුණ වෙනස් කරගැනීමට ශ්‍රීලනිප දැඩි උත්සාහයක් ගත් අතර ඊට පොහොට්ටු පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගෙන් යම් යම් සාධනීය ඉඟි පළවෙමින් තිබූ මොහොතක අවසානයේ ශ්‍රීලනිපය නිකම්ම පොහොට්ටුවේ වේදිකාවට ගොඩවිය. ඒ පොහොට්ටු පාක්ෂිකයන්ගෙන් අඩුවක් නැතිව ලැබුණු හූ සංග්‍රහයක් ද සමඟිනි.

රටේ දැවැන්ත දේශපාලන පක්ෂයක් ලෙස පෙනී සිටි බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට වැටී තිබෙන තැන පසුගිය ඇල්පිටිය පුංචි ජන්දයෙන්ද නිරාවරණය වූ අතර සැබෑ ලෙසම ශ්‍රීලනිපය පොහොට්ටුව ලෙස රූපාන්තරණය වීම පමණක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ.

(LNW)