Thursday, November 06, 2025
Follow Us
කතානායකවරයා අද කළ නිවේදන

2023 අප්‍රේල් 26 වැනි දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පහත සඳහන් නිවේදන ඉදිරිපත් කරන ලදී.

2023 අප්‍රේල් මස 04 වැනි දින ගරු කථානායක විසින් මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව පිළිබඳව නිවේදනයක් කරන ලදි.

ස්ථාවර නියෝග අංක 55(2) (ආ)හි විධිවිධාන ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පෙත්සමක් යොමු කර ඇති අවස්ථාවක දී එම පනත් කෙටුම්පත පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබීමෙන් අනතුරුව කථානායකවරයා විසින් එකී තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබිය යුතු ය.

උදය ගම්මන්පිල මහතා, ගෙවිඳු කුමාරතුංග මහතා හා පූජ්‍ය අතුරලියේ රතන හිමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම නිවේදනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිවැරදි ලෙස සන්නිවේදනය වී නොමැති බවට 2023.04.25 වන දින මෙම සභාවට අදහස් ඉදිරිපත් කොට ඇත.

එකී නිවේදනයේ සඳහන් කරුණු අරබයා කිසියම් සැකයක්, නොපැහැදිලිතාවක් මන්ත්‍රීවරුන්ට ඇති වී ඇත්නම් කථානායකවරයා අවධාරණය කර සිටින්නේ එකී නිවේදනයෙන් කථානායක විසින් සන්නිවේදනය කිරීමට අදහස් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට යටත්ව මහ බැංකු පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවත් ඒ අනුව, මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් ය.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සභාගතකොට එය හැන්සාඩ් වාර්තාවේ පළ කිරීමට කටයුතු යොදා ඇති අතර මේ වන විටත් එය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බව කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා විසින් 2023 ජනවාරි 17 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද කථානායකවරයා නිවේදනය කළේය.