Thursday, November 06, 2025
Follow Us
හෙදි පුරප්පාඩු පිරවීමට වැඩපිළිවෙළක්

රෝහල්වල පවතින හෙද සේවක පුරප්පාඩු පිරවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හෙද සේවකයින්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩු කුඹුර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2023 වසර සඳහා හෙද සේවයට නවක සිසුන් 5500ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් ඇත්තේ පළාත් රෝහල්වල බවයි. ජාතික සහ පළාත් රෝහල් අතර සේවකයින් මාරු කිරීම නිළ වශයෙන් සිදු කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පොදු එකඟතාවකයට එන්න බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන් යොමු කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සහයකයින් සඳහා මිලියන 13ක අවශ්‍යතාවයක් තිබෙනවා. වෙනම පුහුණුවක් ලබා දී මේ සඳහා බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ හෙද සේවයේ විශාල ඉඩක් තිබෙනවා. ඉදිරියේදී විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය සමග එක්ව ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දී මෙම පිරිස පුහුණු කරනවා.