Thursday, November 06, 2025
Follow Us
විදේශගත ශ්‍රමිකයින්ට අඩු පොළියට ණය

රැකියා සඳහා විදෙස් ගත වූ අය සහ ඔවුන්ගේ පවුල් නගා සිටුවීම සඳහා විශේෂ සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද(25) පාර්ලිමේන්තුවේ පැවසීය.

විදේශ ගත ශ්‍රමිකයින්ටත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත පුද්ගලයින් සඳහා රුපියල් මිලියන 02 දක්වා අඩු පොලී ණය පහසුකම් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ විදේශ රැකියාවල නිරතවන ගෘහ සේවිකාවන්ගේ පවුල්වල තත්ත්වය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංය නිරන්තරයෙන් පසුවිපරම් කරන බවයි.

විදේශ ගත ශ්‍රමිකයින්ගේ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්යාංශය කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සදහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයින්ගේ දත්ත කාර්යාංශයේ පරිගණක පද්ධතියට ඇතුළත් වන බව ද පෙන්වා දුන්නේය.