පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වනදා සිදුකළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කර ඇත.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ජනවාරි මස 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකෙරුණු බවත් මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බවට මීට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූ බවත්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ නව ගැසට් නිවේදනවල සඳහන්. අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත් කෙරිණි.
කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින දක්වා කල් දමමින් තේරීම් භාර නිලධාරීන් විසින් මාර්තු මස 8 වනදා ගැසට් නිවේදන නිකුත් කළේය.
ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නොමැති බැවින් එදින ද ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් නිකුත් කළ නව ගැසට් නිවේදනවල සඳහන් වේ.
ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීම සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.