Thursday, November 06, 2025
Follow Us
කිසිදු වෘත්තිය සමිති නායකයෙක් වත්කම් බැරකම් ඉදිරිපත් කළ නැහැ

වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත ඊයේ (04) ප්‍රකාශයක් කරමින් ඒ් බව සඳහන් කළේය.

මේ වන තෙක් කම්කරු අමාත්‍යාංශය එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගෙන නොමැති නමුත් ඉදිරියේදී වෘත්තීය සමිති නායකයින්ගේ එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මෙසේද කීය.

රජයේ සේවකයින් ආයතන සංග්‍රහයෙන් බැඳී සිටිනවා. වෘත්තීය සමිතිවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා. වෘත්තීය සමිතිවල අවුරුදු විස්සක් තිහක් වැඩ කරපු අය එක දවසක්වත් තමන්ගේ රස්සාව කරලා නෑ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවලට පුද්ගලයින් පත් කරලා, අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න වැටුප් ගෙවන එක හරිද කියලා ජනතාව තීරණය කරන්න ඕන. රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරන්නේ ජනතාවගේ බදුවලින් . සාමුහික ගිවිසුම් ගහලා වැටුප් දෙක තුන ගන්න, පාඩු ලබමින් සිටියදීත් මිලියන ගණනින් අතිකාල ගන්න අවස්ථාව ලබාදීම සාධාරණද?

වත්කම් බැරකම් පනත අනුව සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුයි. ඒත් මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැහැ. ඒ නිසා ඒ අයගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනිමට කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරනවා.