Thursday, November 06, 2025
Follow Us
අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් සේවකයන් හිටපු ජනපති මහින්දගේ පිහිට පතයි

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් 19 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හමු වුණා.

ඒ, විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේද එක්ව සිටියා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වෘත්තීය සමිති නියෝජිතයින් අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවයි. පවතින ගැටලුව විසඳීම සඳහා පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟද සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පැවසුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වූවා.

මෙරට තුළ ඉන්ධන බෙදා හැරීමේ අයිතිය විදේශීය සමාගමකට ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති නායකයින් පසුගියදා වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඉන්ධන බෙදා හැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සිව් දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගම පියවර ගත්තේ.

Neth