Thursday, November 06, 2025
Follow Us
රටේ දූෂණය නැති කරන දූෂණ විරෝධි පනත
දුෂණ විරෝධී පනත ගෙන එන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කී නිසා නොවන බවත් රටේ දුෂණය නැති කරන්නට බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
 
රට තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන දුෂණ වංචා වැළැක්වීම සදහා දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බවත්, එම කොමිෂන් සභාවේ කටයුතු අසාර්ථක වීම හේතුවෙන් හා 2004 වසරේ දී ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තියට අනුව යමින් නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කෙළ්ය.
 
මෙම පනත සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
නව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස විශ්‍රාම ගිය නිලධාරීන් පත් කිරීම සිදු නොකරන අතර, ඒ සදහා දැනට රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හා සුදුසුකම් ඇති ස්වේච්ඡා සේවකයින්ට අවස්ථාව පවතින බව ද ඒ මහතා පැවසීය.
 
වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ පමණින් ඒ පිළිබදව සොයා බලා කටයුතු කිරීමේ නිසි ක්‍රමවේදයක් නොපැවති බවත්, නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත හදුන්වාදීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර, ජනාධිපතිවරයා , මහ කෙමසාරිස්වරුන් , තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කෙමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව ද අධිකරණ අමාත්‍යවරයා  සදහන් කළේය.
 
ඇතැම් පිරිස් විසින් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි නව දුෂණ විරෝධි පනත ඉදිරිපත් නොකළ බවත්, එම පනත මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සදහා අවශ්‍යතම කරුණක් බවත්, විනිදවිද භාවයෙන් යුතු අය වැය කාර්යාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපිත කිරීම ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ  තාක්ෂණික කරුණු කිහිපයක් නව දුෂණ විරෝධි පනතට ඇතුළත් කර ඇති බවත්, ලබන මැයි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ් මහතා පෙන්වා දුන්නේය.
 
නව දුෂණ විරෝධි පනත තුළින් දුෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර, නව අල්ලස් කොමිෂමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේය.
 
රට තුළ අල්ලස හා දුෂණය සම්බන්ධව දැනට පවතින තත්වය හේතුවෙන් ආයෝජකයින් ආයෝජනය කිරීමට බියක් දක්වන අතර, සිංගප්පුරුව දියුණු රටක් බවට පත්වීමට ප්‍රධාන හේතුව වුයේ අල්ලස හා දුෂණය තුරන් කිරීම බව පෙන්වා දුන්  අමාත්‍යවරයා සදහන් කළේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමු වීම සම්බන්ධව කිසිදු වරදක් නොමැති බවයි.