ආසියා ශාන්තිකර කලාපයේ රටවල් විස්සක් නියෝජනය කරමින් පැමිණි පනස්දෙනෙකුගෙන් (50) යුත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හා පාර්ලිමේන්තු පර්යේෂණ කාර්යය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මෙම මස මාර්තු 30 වන දින ශ්රී ලංකා පාර්ලිමේන්තුව සමඟ දැනුම් හුවමාරු කිරීමේ සැසියක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ප්රධාන වශයෙන් ඇගයීම් ක්රියාවලිය තුළින් වඩා නිර්වද්ය ප්රතිපත්ති සම්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත වේ. මෙම විශේෂ හමුව පසුගිය මාර්තු 27 වන දින ආරම්භ කරන ලද “ඇගයීම් ක්රියාවලිය තුලින් වඩාත් නිර්වද්ය ප්රතිපත්ති සම්පාදනයක්” යන මැයෙන් ආරම්භ කරන ලද පුහුණු සැසිවාරයේ සමාප්ති දිනයේ විශේෂ අංගයක් වශයෙන් සිදු කරනු ලබන අතර එම පුහුණු වැඩමුළුව ආසියා ශාන්තිකර කලාපයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හා කාර්ය මණ්ඩලය සඳහා ස්ථානීය පුහුණුවක් ලබා දුන් ප්රථම වැඩසටහන වීම ද විශේෂිත ය.
මෙම සැසියේ එක් ප්රධාන අරමුණක් ලෙස ආයතනගත මට්ටමින් ඇගයීම්කරණය සිදු කිරීම සඳහා හා ජාතික මට්ටමින් ශක්තිමත් ඇගයීම් ක්රියාවලියක් ක්රියාත්මක කිරීම සඳහා ශ්රී ලංකාවේ පාලිමේන්තුව ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව පැමිණෙන සිටින පිරිස් දැනුවත් කිරීමට අපේක්ෂිත ය.
ජාතික ඇගයීම් ප්රතිපත්තියක් නිල වශයෙන් කෙටුම්පත් කරන ලද ප්රථම දකුණු ආසියානු රාජ්ය ශ්රී ලංකා වීම ද මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් වනු ඇත. මීට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම තුළින් පාර්ලිමේන්තුව තුල ඇගයීම් ක්රියාවලිය විධිමත් ලෙස ක්රියාත්මක කිරීමට ගෙන ඇති ප්රයත්නය ඉතා වැදගත් වන අතර ලෝකයේ පාර්ලිමේන්තුවක් එවැනි ක්රියාවලියක් සිදුකරන ලද ප්රථම අවස්ථාව ලෙස ද මෙය සැලකිය හැකිය. මෙම තේරීම් කාරක සභාව මගින් මේවනවිටත් ජාතික ඇගයීම් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර ඉදිරියේ දී ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය. පාර්ලිමේන්තුව මෙම පනත සම්මත කිරීමෙන් පසු ශ්රී ලංකාවේ රාජ්ය ආයතනයන් හි කාර්යභාරය වඩාත් තිරසාර හා ඵලදායී අන්දමින් සිදු කිරීමට එය මහත් අත්වැලක් වන අතර ඒ මගින් රටෙහි ආර්ථිකය ඉදිරි පැවැත්ම සුරක්ෂිත කරනු ඇත.
මෙම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන පිරිස පිළිගැනීම සඳහා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක සුසිල් ප්රේමජයන්ත මහතා, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා, ඇගයීම්කරණය සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ සංසදයේ සභාපති කබීර් හෂීම් මහතා හා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ ආසියා ශාන්තිකර ඇගයීම්කරණය පිළිබඳව සංගමයේ සහ ශ්රී ලංකා ඇගයීම්කරණය පිළිබඳව සංගමයේ සභාපති ආචාර්ය අසේල කළුගම්පිටිය මහතා සහභාගි වීමට නියමිතයි.
මෙම සැසියේ දී ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා, කැලණිය විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය, ජර්මනියේ සාර්ලන්ඩ් විශ්වවිද්යාලයේ ඇගයීම් මධ්යස්ථානයෙහි නිර්මාතෘ සහ අධ්යක්ෂ මහාචාර්ය රයින්හාඩ් ස්ටොක්මන් මහතා හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්යක්ෂ මාර්කෝ සෙගෝනි යන මහත්ම මහත්මීන් විසින් තම අදහස් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇගයීම් පුහුණුව සංවර්ධනය කිරීම උදෙසා වන ජාත්යන්තර වැඩසටහන (IPDET), ආසියා ශාන්තිකර ඇගයීම් සංගමය (APEA), ඇගයීම්කරණය සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ සංසදය (GPFE), ඇගයීම්කරණය සඳහා වූ ආසියා ශාන්තිකර කලාපයේ පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ සංසදය (APPFE) යන ආයතනයන් හි සහයෝගය සහිතව මෙම සැසිවාරය සංවිධානය කරනු ලබයි. මේ සඳහා Global Evaluation Initiative ආයතනය ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල පැසිපික් සහ පිලිපීන කාර්යාල හා ආසියානු ජනගහන හා සංවර්ධන පිලිබඳ සංගමය, එක්සත් ජාතීන්ගේ ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන ආයතනය (UN Women) සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අනුග්රහයන් ලබා දෙයි.