නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ප්රචාරක රැළිය මේ වනවිට කොළම ගාලුමුවදොර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙමින් තිබේ. මේ සඳහා විශාල පාක්ෂිකයන් පිරිසක් සහභාගි වී සිටින අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඒ සඳහා ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සහභාගි වී සිටින බවයි.
මෙම රැළිය හේතුවෙන් මේ වනවිට ගාලු මුවදොර පිටිය ආසන්න මාර්ග සියල්ලේම දැඩි වාහන තදබදයක් තිබෙන බවයි වාර්තා වන්නේ.
තමාගේ මූලිකත්වයෙන් ඉදිරියේදී පිහිටුවන රජයේ ආරක්ෂාව පිළිබඳ ඉහළම වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. යුද්ධය අවසන් කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් නැවත රටතුළ කිසිදු ත්රස්තවාදයක් බිහිවීමට ඉඩ නොතබන බවත් ඒ සම්බන්ධයෙන් සියලු වගකීම් ඔහුට ලබා දී ඔහුගෙන් රට වෙනුවෙන් ලබාගත හැකි උපරිම සේවය ලබාගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරණ රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එදාවේල ටුවර්ස් පොරොන්දු ලබා දෙමින් ගොවි ජනතාව රැවටීමට තමා සූදානම් නොමැති බවයි. ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ තම ගොවිතැන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සහ ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම මිස ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදීම නොවන බවත් ඔහු පවසයි. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා කටයුතු කරන බවට ගොවි ජනතාවට පොරොන්දුවක් ලබාදෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
(LNW)