Thursday, November 06, 2025
Follow Us
පා.ම.ඩිලාන් පෙරේරාට සභාපති ධූරයක්

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (21) තේරී පත්විය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මායාදුන්න චින්තක අමල් සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඩිලාන් පෙරේරා මහතා මෙලෙස තෝරා පත්කර ගැනිණි.
ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ නම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් යෝජනා කිරීමත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඊට විරුද්ධ නොවී එය ස්ථිර කිරීමත් පිළිබඳව තමා සතුටු වන බවත් අභිනව සභාපතිවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළේය.

තවද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැනි ආයතන කාරක සභාව හමුවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්, ඒ එල් එම් අතාවුල්ලා, මායාදුන්න චින්තක අමල්, ගෙවිඳු කුමාරතුංග, කුලසිංහම් තිලීපන්, රාජිකා වික්‍රමසිංහ සහ ඉසුරු දොඩංගොඩ යන මහත්මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.