Thursday, November 06, 2025
Follow Us
ජාතික ජනබලවේගයේ ඉල්ලීම

පතෝල වගේ නොඉඳ තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

තමන්ගේ වගකීම ඉටු කරන්න ඉඩ නොදිම ගැන අධිකරෙණයට නොයා, පොලිසියේ පැමිණිල්ලක් දාලා ඇඟ බේරා ගැනිමට කොමිසම කටයුතු කරන නිසා ආණ්ඩුවට තමන්ගේ අරමුණ ඉටු කරගන්න පහසු වී ඇතැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

අද මධ්‍යම රාත‍්‍රියෙන් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. ඒ නිසා වසරකින් කල්දමා තිබු පළාත් පාලන මැතිවරණය අදට කලින් පැවැත්විය යුතුව තිබුණා. නමුත් ජනාධිපති ප‍්‍රමුඛ ආණ්ඩුව එය කල්දැමීමට ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගත්තා. අවසානයේ මැතිවණයට අවශ්‍ය මුදල් නොදී මගහැරියා. එයට එරෙහිව දුන් අධිකරණ තීන්දුවත් අද නොසලකා හරිමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි අධිකරණ තින්දුව මගින් පාර්ලමේන්තු වරප‍්‍රසාද කඩ වුණා කියලා දොළවත්ත හා සේමසිංහ මන්ත‍්‍රීවරු වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරලා නීතිය හෑල්ලූවට ලක් කරමින් සිටිනවා. මේක බරපතල තත්වයක්. අධිකරණ තීන්දුවෙන් කලේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ශක්තිමත් කිරිමයි. ඒ බලය පැහැර ගන්න මුදල් ලේකම්වරයාට හෝ ඇමතිවරයාට හැකියාවක් නැහැ.