Thursday, November 06, 2025
Follow Us
පාරට බහින වෘත්තීය සමිති නායකයන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අවස්ථාවක පාරට බහින්න හදන වෘත්තීය සමිති සාමාජිකයන්ගේ මොළය පරීක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

"අපේ රටේ වාසනාවට වසර 50ක් දේශපාලන පළපුරුද්දක් සහිත රනිල් වික්‍රමසිංහ නමැති දේශපාලන නායකයා රට යළි ගොඩගැනීමේ වගකීම භාරගෙන මේ වන විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නැති කර තිබෙනවා. ගොවියන් යළි කුඹුරට බස්සවා තිබෙනවා. මුළු මහත් රටක් නැවත යථා තත්ත්වයට පත් කරමින් තිබෙනවා.

මෙවැනි අවස්ථාවක රටේ වෘත්තීය සමිති ව්‍යාපාර පාරට බහිනවා නම් මං හිතන්නේ ඒ අයගේ මොළය පරීක්ෂා කළ යුතුව තිබෙනවා. බංකොළොත් වු රටක් ගොඩගන්න සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය කරන වෙලාවක විවිධ විදේශ බලවේගවල අතකොලු බවට පත්වී රට අරාජික කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. කිසිසේත්ම එයට ඉඩ නොදිය යුතුයි. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත එදා සම්මත කළේ මෙවැනි කඩාකප්පල් ක්‍රියා පාලනය කරන්න. රටේ යහපත සඳහා ඒ නීති රීති අනුව රට පාලනය කළ යුතුව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගෙන ලෝකයේ ආධාර දෙන කණ්ඩායම්වල සහයෝගය ගනිමින්, සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කරමින්, ආදායම් වැඩි කරමින් ක්‍රියා කරන අවස්ථාවක රටක දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ක්‍රියා කළ යුතු ආකාරයක් තිබෙනවා. ඔවුන් නියෝජනය කළ රටවල් කියන පරිදි මේ රට අරාජික කරන්න කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි."

 

Dinamina