Thursday, November 06, 2025
Follow Us
මැතිවරණ අපේක්ෂක රාජ්‍ය සේවකයින්ට වැටුප පමණක් ගෙවීමට තීරණය කරයි

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා කල්යාම හේතුවෙන් එම මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයන් සඳහා ප්‍රමාද වන කාලය තුළ ඔවුන්ගේ මූලික වැටුප පමණක් ගෙවීමට නිර්දේශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දුන් බවත් මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටි.

මැතිවරණය කල්යාම හා ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයන් පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද(මාර්තු 10) එම කොමිෂන් සභාව මෙම තීරණය දැනුම් දී ඇත.

එම නිවේදනයෙන් තවදුරටත් දන්වා ඇත්තේ අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාරදීමෙන් අනතුරුව නාමයෝජනා භාරදුන් අය වැටුප් රහිත නිවාඩු ලබාගත යුතු වුවද, සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ආකාරයට ආර්ථික පීඩනය පවතින තත්වයක් තුළ අනපේක්ෂ්ත ලෙස මැතිවරණය කල්යාම හේතුවෙන් අදාළ රාජ්‍ය සේවකයන්ට ජීවත් වීම සඳහා අපහසු වීඇති බවත්, එම නිසා ඔවුන්ට අදාළ කාලය තුළ මූලික වැටුප පමණක් ලබාදීම සාධාරණ බවත්ය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102 ව්‍යවස්ථාව ප්‍රකාරව අපේක්ෂකත්වයට පත්ව ඇති රාජ්‍ය සේවකයන් මැතිවරණය අවසන් වන තෙක් නැවත රාජ්‍ය සේවයේ පිහිටුවීමට නීතිමය ප්‍රකාරව නොහැකි බැවින් මෙම තීරණය මැතිවරණ කොම්ෂන් සභාව ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.